දිවයින පුරා පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක හයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද උදෑසන පියවර ගෙන තිබේ. ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, රුවන්වැල්ල, දෙහිඕවිට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කුරුවිට, අයගම මෙන්ම රත්නපුර යන ප්‍රදේශවල කඳුකර සහ බෑවුම් ආශ්‍රිතව වෙසෙන ජනතාවට වහාම ආරක්ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස දන්වමින් තෙවන මට්ටමේ රතු නිවේදන නිකුත් කර ඇත. නායයෑමේ ලක්ෂණ පහළ වුවහොත් හෝ වර්ෂාව අඛණ්ඩව පැවතුණහොත් ප්‍රමාදයකින් තොරව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස බලධාරීන් මෙම ප්‍රදේශවල ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක ප්‍රදේශවලටත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශයටත්, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, හොරණ, ඉංගිරිය සහ පාලින්දනුවර යන ප්‍රදේශවලටත් දෙවන මට්ටමේ එනම් අවධානයෙන් සිටීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. එම මට්ටමේම අනතුරු ඇඟවීම් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, කිරිඇල්ල, ඇලපාත, කලවාන මෙන්ම නිවිතිගල යන ප්‍රදේශ සඳහා ද බලාත්මක වේ.
එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මීරිගම සහ දිවුලපිටිය ප්‍රදේශවලටත්, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත සහ මතුගම ප්‍රදේශවලටත්, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව යන ප්‍රදේශයටත් පළමු මට්ටමේ එනම් විමසිලිමත්ව සිටින ලෙස පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කඳු බෑවුම්වල සිදුවන පස් කඩා වැටීම්, ගස් ඇලවීම්, පොළොවේ හදිසි පැලෑම් හෝ බිත්ති පුපුරා යාම් වැනි නායයෑමේ පූර්ව ලක්ෂණ පිළිබඳව දැඩි ලෙස සලකිලිමත් වන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට වැඩිදුරටත් දැනුම් දෙයි.















