හැටන් – දික්ඔය නගරයේ පිහිටි වෙළඳසැලක් තුළ තනිව ජීවත් වූ 82 හැවිරිදි එස්. කාලිමුත්තු සත්තිවේල් සහ ඔහුගේ බිරිඳ වන 82 හැවිරිදි සගුන්තලාදේවි යන යුවළ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
මෙම යුවළ කාලයක් තිස්සේ එම ස්ථානයේ වෙළඳාමේ නිරතව සිට පසුව වෙළඳසැල වසා දමා තනිව ජීවත් වී ඇති අතර, ඔවුන්ගේ දරුවන් කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පවසනවා. පසුගිය 21 වන දින දරුවන් දෙමව්පියන්ට දුරකථන ඇමතුම් ලබා දුන්නද ඔවුන් ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන්, අසල්වාසීන් වෙළඳසැල විවෘත කර බැලීමේදී මෙම ඝාතනය දැක ඒ පිළිබඳව හැටන් පොලිසිය දැනුවත් කර තිබෙනවා.
පොලිසිය පවසන පරිදි, යුවළ එකම ස්ථානයකදී ඝාතනය කර ඇති අතර, ඝාතනයට ලක් වූ කාන්තාවගේ සිරුර ඇදගෙන විත් පඩිපෙළ මත දමා තිබූ බව අනාවරණය වී තිබෙනවා. මෙය කිසියම් අයෙකු වෙළඳසැලට ඇතුළු වී සිදුකළ ඝාතනයක්ද නැතහොත් පවුලේ ආරවුලක් මත සිදුවූවක්ද යන්න පිළිබඳව හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන පවත්වනවා.
හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් මහතා විසින් සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කළ අතර, පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුරු දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර තිබෙනවා.














