වෙසක්, පොසොන් සහ ඇසළ යන උදාර පුර පසළොස්වක පොහෝ දිනයන්හිදී ප්‍රදේශය තුළ දන්සල් පැවැත්වීම සීමා කිරීමට ගාල්ල නාගොඩ ප්‍රාදේශීය සභාව පියවර ගෙන ඇති බව වාර්තා වේ. පොහෝ දිනයන්හිදී මහා පරිමාණයෙන් දන්සල් පැවැත්වීම හේතුවෙන් ජනතාව ආමිස හා ප්‍රතිපත්ති පූජාවලින් බැහැරව විහාරස්ථාන වෙත පැමිණීම ශීඝ්‍රයෙන් අඩුවන බව පවසමින් මෙම තීරණය ගෙන තිබේ. සරණ බිම්බාරාමාධිපති, ගාලු දිසාවේ අධිකරණ ප්‍රධාන සංඝනායක මෙන්ම නාගොඩ ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ප්‍රධානීන් ඇතුළු මහා සංඝරත්නයේ අනුශාසනා සහ මඟපෙන්වීම් මත ප්‍රාදේශීය සභාව විසින් මෙම ආන්දෝලනාත්මක තීරණය ප්‍රකාශයට පත් කර ඇත.
මෙම නව තීරණයට අනුව, වෙසක් ඇතුළු ප්‍රධාන පොහෝ දින තුනෙහි විහාරස්ථාන තුළ පැවැත්වෙන පින්කම් හා ධර්ම දේශනා සඳහා ජනතාව යොමු කරවීමේ අරමුණින්, පොහෝ දිනට පසු දිනවලදී දන්සල් පැවැත්වීමට සිවිල් සංවිධාන සහ තරුණ සමිති දිරිමත් කිරීමට නියමිතය. කෙසේ වෙතත්, වසර ගණනාවක සිට පැවතෙන වෙසක් දන්සල් සංස්කෘතියට මෙලෙස සීමාවන් පැනවීම පිළිබඳව ගාල්ල නාගොඩ ප්‍රදේශයේ දන්සල් සංවිධායකවරුන් සහ ප්‍රදේශවාසීන් අතර මේ වන විට දැඩි කතාබහක් සහ විවිධ මතවාදයන් නිර්මාණය වී තිබේ.














