දිවයිනට බලපා ඇති දරුණු අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගල්ලැල්ල ග්‍රාම නිලධාරි වසමේ උදාකලගම ප්‍රදේශයේ පිහිටි නායයෑම් කලාපය නැවත සක්‍රීය වී තිබේ. නායයෑමේ අවදානම ශීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ, එම ස්ථානයට යාබදව පදිංචිව සිටි පවුල් 12කට අයත් සාමාජිකයන් පිරිසක් ඊයේ (22) උදෑසන 6:30 ට පමණ කඩිනමින් එම ස්ථානයෙන් ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමට රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කාර්යාලය පියවර ගෙන ඇත.
පසුගිය 2025 වර්ෂයේදී මෙම උදාකලගම ප්‍රදේශයේ නායයෑම් තත්ත්වයක් මුල්වරට හඳුනාගෙන තිබූ අතර, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) භූවිද්‍යාඥයින් විසින් සිදුකළ ස්ථානීය පරීක්ෂණවලින් පසුව මෙම කලාපය “නායයෑම් අධි අවදානම් ස්ථානයක්” ලෙස නිල වශයෙන් නම් කර තිබුණි. පවතින අඛණ්ඩ වර්ෂාපතනය හේතුවෙන් පස් ස්ථර නැවත ලිහිල් වී නායයෑම සක්‍රීය වී ඇති බැවින්, අවදානම් කලාපයේ සිටින සෙසු ජනතාවට ද විමසිලිමත් වන ලෙසත්, ආපදා සහන කණ්ඩායම් ලබාදෙන උපදෙස් ඒ අයුරින්ම පිළිපදින ලෙසත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය දැනුම් දෙයි.














