ඉන්දියාවට අවශ්‍ය ඕනෑම උපරිම බලශක්ති සහ බොරතෙල් ප්‍රමාණයක් අලෙවි කිරීමට වොෂින්ටනය සූදානමින් සිටින බව අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) ප්‍රකාශ කර තිබේ. මාධ්‍යවේදීන් අමතමින් ඔහු අවධාරණය කළේ ඇමරිකා එක්සත් ජනපදය මේ වන විටත් තෙල් සැපයුම් සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ බහුපාර්ශ්වීය සාකච්ඡා පවත්වමින් සිටින බවත්, නව දිල්ලිය ඔවුන්ගේ බලශක්ති සැපයුම් කළඹේ (Energy Portfolio) ප්‍රධානතම කොටස්කරුවෙකු කර ගැනීමට වොෂින්ටනය දැඩි කැමැත්තකින් පසුවන බවත්ය.
අමෙරිකානු තෙල් පිරිපහදු මධ්‍යස්ථාන වෙත වෙනිසියුලානු බර බොරතෙල් (Venezuelan Heavy Crude) විශාල වශයෙන් ගලා ඒමේ වර්ධනයක් දක්නට ලැබෙන වටපිටාවක රාජ්‍ය ලේකම්වරයා මෙම අදහස් පළ කර ඇත. “ඉන්දියාව සමඟ විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එක්ව වැඩ කිරීමට අපට බොහෝ දේ තිබෙනවා. ඔවුන් විශිෂ්ට මිත්‍රයෙක් මෙන්ම ලෝක දේශපාලනයේදී අපට සිටින විශිෂ්ටතම හවුල්කරුවෙක්,” යනුවෙන් ද රූබියෝ සඳහන් කළේය.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ සිව්දින නිල සංචාරයක් සඳහා හෙට (24) ඉන්දියාවට පැමිණීමට නියමිත පසුබිමක් තුළය. ඔහුගේ මෙම නව දිල්ලි සංචාරය ද්විපාර්ශ්වීය සබඳතාවලට අතිශය වැදගත් එකක් වන බව පෙන්වා දුන් රූබියෝ, මෙම සංචාරය අතරතුරදී කලාපීය ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින ‘Quad’ (Quadrilateral Security Dialogue) සංවිධානයට අයත් රටවල (අමෙරිකාව, ඉන්දියාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව) විදේශ අමාත්‍යවරුන් හමු වී විශේෂ සාකච්ඡා පැවැත්වීමට තමන්ට අවස්ථාව ලැබෙන බව ද වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.














