විස්තීර්ණ අරමුදල් පහසුකම (Extended Fund Facility – EFF) යටතේ ශ්‍රී ලංකාවේ ඒකාබද්ධ පස්වන සහ හයවන සමාලෝචන (5th & 6th Reviews) සම්පූර්ණ කිරීම සහ ඊට අදාළ ඩොලර් මිලියන 700 ක මීළඟ ණය වාරිකය නිදහස් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විධායක මණ්ඩලයේ අවසන් අනුමැතියට යටත්ව පවතින බව එම සංවිධානය නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන අධ්‍යක්ෂිකා ජූලි කොසැක් (Julie Kozack) මහත්මිය පැවැත්වූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ, අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර පසුගිය අප්‍රේල් 09 වැනිදා කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට (Staff-Level Agreement) එළඹුණු බවයි.
කෙසේ වෙතත්, මෙම ඩොලර් මිලියන 700 ක මුදල මෙරටට නිදහස් කිරීම සඳහා විධායක මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව ප්‍රධාන කොන්දේසි 3ක් සපුරාලිය යුතු බව ජූලි කොසැක් මහත්මිය මෙහිදී අවධාරණය කළාය. ඒ අනුව මූල්‍ය අංශයේ ස්ථාවරත්වය සහ විනිවිදභාවය තහවුරු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය එකඟ වී ඇති දේශීය මූල්‍ය හා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණවලට අදාළ පූර්ව ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක කර අවසන් කළ යුතු වේ.
එමෙන්ම නිල ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ එළඹුණු එකඟතා ක්‍රියාත්මක කිරීම සහ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ පවතින වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථකව ඉදිරියට ගෙනයමින් ණය ප්‍රතිව්‍යුහගතකරණයේ පැහැදිලි ප්‍රගතියක් පෙන්විය යුතුය. මීට අමතරව මෙම සමස්ත වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් සහ ණයහිමියන්ගෙන් ලැබිය යුතු මූල්‍ය සහතික කිරීම් නිසි පරිදි තහවුරු කරගැනීම ද අනිවාර්ය වේ. මෙම කොන්දේසි සපුරාලීම ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික ස්ථාවරත්වය තහවුරු කරගැනීම සඳහා අතිශය තීරණාත්මක වන අතර, විධායක මණ්ඩලයේ අනුමැතිය හිමිවූ වහාම අදාළ මූල්‍ය ප්‍රතිපාදන මෙරටට ලැබෙනු ඇතැයි ද ඇය වැඩිදුරටත් කියා සිටියාය.














