ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින දැඩි රාජ්‍ය තාන්ත්‍රික හා යුදමය අර්බුදය සම්බන්ධයෙන් ඉදිරි තීරණාත්මක පියවර ගැනීම සඳහා තමන් ඊයේ (23) පස්වරුවේ ජ්‍යෙෂ්ඨ උපදේශකයින් හමුවීමට නියමිතව සිටි බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ජාත්‍යන්තර ‘Axios’ පුවත් සේවය වාර්තා කරන පරිදි, වොෂින්ටනය ඉරානය සමඟ සාමකාමී එකඟතාවකට පැමිණෙන්නේද නැතහොත් “ඔවුන්ව සුනුවිසුනු කර දමන්නේද” යන්න පිළිබඳව තමන් තවමත් සියයට 50ක (50/50) දෙගිඩියාවකින් පසුවන බව ජනාධිපතිවරයා පවසා ඇත.
මෙහිදී ඉරානය වෙත සෘජු සහ දැඩි අනතුරු ඇඟවීමක් කර ඇති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත්තේ, ටෙහෙරාන් පාලනයට එක්කෝ තමන්ට වාසිදායක “යහපත්” මට්ටමේ නව ගිවිසුමකට අත්සන් තැබීමට සිදුවන බවයි. එසේ නොමැති වුවහොත්, ඉරාන ඉතිහාසය තුළ “ඔවුන් මෙතෙක් මුහුණ දී ඇති දරුණුතම හමුදා ප්‍රහාරයට” මුහුණ දීමට සිදුවන බව ද ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් කියා සිටියේය. මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාව තවදුරටත් උග්‍ර අතට හැරෙනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.















