ජාතික තරුණ දිනය නිමිත්තෙන් අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව ජාතික තරුණ සේවා සභාව සහ යොවුන් සමාජ ජාතික සම්මේලනය එක්ව දිවයින පුරා පාගමන් සහ රැළි 25ක් සංවිධානය කර තිබුණා. අනාගතය අහිමි කරන විෂ මත්ද්‍රව්‍ය එපා යන තේමාව යටතේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පැවැති මෙම වැඩසටහනේ ජාතික කේන්ද්‍රස්ථානය මහරගම නගරය වූ අතර එහිදී තරුණ තරුණියන් විශාල පිරිසක් එක්ව මත්ද්‍රව්‍යවලට එරෙහිව සිය දැඩි විරෝධය ප්‍රකාශ කළා. මෙම අවස්ථාව සඳහා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු අමාත්‍යවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූ අතර එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සුබ පැතුම් පණිවිඩය ද ඉදිරිපත් කෙරුණා. ඩිජිටල් ආර්ථිකයක ප්‍රතිලාභීන් වනුයේ තරුණ පරපුර බවත් ඔවුන් වෙනුවෙන් මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික ව්‍යාපෘතිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා එම පණිවිඩය මගින් සිහිපත් කළා. මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා තිබූ දේශපාලන අනුග්‍රහය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති බවත් මේ වන විට රාජ්‍ය මැදිහත් වීමෙන් මත්ද්‍රව්‍යවලට එරෙහි පුළුල් වැඩසටහනක් ක්‍රියාත්මක වන බවත් තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිඳු සමන් හෙන්නායක මහතා මෙහිදී අවධාරණය කළා. ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතිඥ සුපුන් විජේරත්න මහතා සඳහන් කළේ ජුනි මස විසිහය වන දින කුරුණෑගලදී මත්ද්‍රව්‍ය විරෝධී ජාතික තරුණ රැළියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි. විෂ මත්ද්‍රව්‍යවලට එරෙහිව තරුණ තරුණියන් විසින් ප්‍රදර්ශනය කළ වීදි නාට්‍ය සහ සටන් පාඨවලින් සමන්විත වූ මෙම පාගමන මත්ද්‍රව්‍යවලින් තොර අනාගතයක් උදෙසා තරුණ පරපුරේ ඇති අධිෂ්ඨානය මනාව විදහා දැක්වූවා.














