ග්ලෝබල් සුමුඩ් ෆ්ලොටිලා මෙහෙයුම අතරතුර රඳවා සිටි ක්‍රියාකාරීන්ට අමානුෂික ලෙස සැලකූ බවට එල්ල වූ චෝදනා සැලකිල්ලට ගනිමින් ප්‍රංශ රජය විසින් ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍ය ඉටාමර් බෙන්-ග්වීර් හට ප්‍රංශ භූමියට ඇතුළුවීම තහනම් කර තිබෙනවා. ප්‍රංශ විදේශ අමාත්‍ය ජීන්-නොයෙල් බැරට් විසින් X සමාජ මාධ්‍ය හරහා මෙම තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේ මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට පත් වූ ප්‍රංශ සහ යුරෝපීය පුරවැසියන් වෙනුවෙන් යුක්තිය ඉටු කිරීමේ පියවරක් ලෙසයි. අන්තවාදී ක්‍රියාකාරකම් සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් අමාත්‍යවරයා වෙත එල්ල වී ඇති චෝදනා මෙන්ම, ප්‍රංශ පුරවැසියන් වෙත සැලකූ ආකාරය ජාත්‍යන්තර නීතියට පටහැනි බව ප්‍රංශ රජය අවධාරණය කරනවා. යුරෝපා සංගමයේ ප්‍රමුඛ රටක් වන ප්‍රංශය ගෙන ඇති මෙම තීරණය ඊශ්‍රායල දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි ආන්දෝලනයක් ඇති කර තිබෙන අතර, එය දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට ද ප්‍රබල බලපෑමක් එල්ල කරනු ඇති බව විචාරකයන් පවසනවා.














