ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නංවාලීමේ අරමුණින් ඉන්දියාවේ බටහිර කලාපය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සබඳතා තවදුරටත් පුළුල් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව අහමදාබාද් සහ කොළඹ අතර සෘජු ගුවන් සේවාවක් ජුනි 19 වන දා සිට ආරම්භ කිරීමට ෆිට්ස් එයාර් (FitsAir) ආයතනය සැලසුම් කර ඇත. මෙම නව සේවාව හරහා මේ වන විට නැවතුම් සහිතව පැය නවයකට ආසන්න කාලයක් ගතවන ගමන් කාලය පැය තුනක් දක්වා අඩු කෙරෙන අතර සතියකට ගුවන් ගමන් වාර තුනක් බැගින් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඉන්දියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ප්‍රභවය වන අතර පසුගිය වසරේ පමණක් ඉන්දීය සංචාරකයින් පන්ලක්ෂයකට අධික පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ. ගුජරාට් ප්‍රාන්තයේ පවතින දැඩි විදේශ සංචාරක ඉල්ලුම සහ ශ්‍රී ලංකාව සමඟ පවතින සංස්කෘතික සබඳතා මෙම ගුවන් ගමන් ආරම්භ කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව කර්මාන්ත ක්ෂේත්‍රයේ නියෝජිතයින් පෙන්වා දෙනවා. 2025 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත සංචාරකයින්ගෙන් සියයට විසිහතරක්ම ඉන්දීය සංචාරකයින් වීම කැපී පෙනෙන කරුණක් වන අතර, නවීකරණය කරන ලද හෝටල් සහ සංචාරක යටිතල පහසුකම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ඉන්දීය ආයතනික උත්සව පැවැත්වීම සඳහාද මේ වන විට වැඩි ඉල්ලුමක් පවතින බව වාර්තා වේ.














