පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු වන කටයුතු කරන එන්.ඒ.විමලසේනගේ වැඩ තහනම්කර විශ්වවිද්‍යාලභූමියට ඇතුළුවීම තහනම් කිරීමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය විසින් කටයුතු කර තිබේ. අධ්‍යයන විෂමාචාරයන් ගණයට වැටෙන පොතක් පිටපත්කර තම නමින් ප‍්‍රකාශයට පත්කිරීම එයට හේතුපාදක වී තිබෙන බව දැනගන්නට ඇත.
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කීර්තිමත් මහාචාර්යවරයෙකු සහ හිටපු උපකුලපතිවරයෙකුද වන මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන මහතා විසින් සිදුකරන ලද පර්යේෂණ මත පදනම්ව ලියා පලකර තිබුන පොතක් වංචනික ලෙස තම නමින් ප‍්‍රකාශයට පත් කිරීම මෙයට පදනම්ව ඇත.
මහාචාර්ය ගුණවර්ධනයන්ගේ ඥාති පුත‍්‍රයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලක් ප‍්‍රකාර විමර්ශනයක් පැවැත්වීම සදහා විශ‍්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු ආර්.බී.රණරාජා සහ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි යන ද්වී පුද්ගල විමර්ශන කමිටුව පත්කර තිබුණි.
දැනගන්නට ලැබෙන පරිදි මෙම විමර්ශන කමිටුව හමුවේ මහාචාර්ය විමලසේන තමන්ගේ වරද පිලිගෙන ඇති අතර ඒ අනුව ඔහුගේ වැඩ තහනම් කර විශ්වවිද්‍යාල භූමියට ඇතුළුවීම තහනම් කිරීමට පාලක සභාව කටයුතු කර තිබේ.
මේ වන විට මහාචාර්ය විමලසේනට එරෙහිව චෝදනා පත‍්‍රයක් ගොනුකර විධිමත් විනය පරීක්‍ෂණයක් කැදවා ඇත.
අදාල පුද්ගලයා 2007 වසරේදීද මෙවැනිම බුද්ධිමය දේපල සොරකමක් සම්බන්ධයෙන් වරදකරු කර තිබෙන අයෙකු බවද දැනගන්නට ඇත.
– අග්නි සපුමල් බණ්ඩාර














