පසුගිය මැයි 12 වන දින ගාල්ල දංගෙදර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා සිදුකළ ඝාතනයට ආධාර අනුබල ලබාදුන් බව කියන සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ දින සිදුකළ වැටලීමකදී මෙම ඝාතනයට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන ගිරාඳුරුකෝට්ටේ සහ මහව ප්‍රදේශවල පදිංචි 24 සහ 38 හැවිරිදි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවෙකු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 12 මිලිග්‍රෑම් 260ක ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබේ. එමෙන්ම මෙම ඝාතනයටම සම්බන්ධ බවට සැකකෙරෙන හබරාදුව, කල්පේ ප්‍රදේශයේ පදිංචි 22 හැවිරිදි තවත් සැකකරුවෙකු ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ දින අත්අඩංගුවට ගෙන ඇත. වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය සහ ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය යන ආයතන මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.














