පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක පවුල් 3950ක සාමාජිකයන් 15,313 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා. මෙම කාලගුණික තත්ත්වය මත දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, හල්ගහවෙලවත්ත ග්‍රාම නිලධාරී වසමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර නිවාස 568කට අර්ධ හානි සිදුව තිබෙනවා.
අත්තනගල්ල, මීරිගම, මිනුවන්ගොඩ, මීගමුව, දිවුලපිටිය, දොම්පෙ, ගම්පහ, කටාන, බියගම, කැලණිය, මහර සහ ජාඇළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්හි ජනතාව මෙලෙස පීඩාවට පත්ව සිටිනවා. මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 12ක පවුල් 299කට අයත් පුද්ගලයන් 1173 දෙනෙකු රඳවා සිටිනවා. පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අදාළ ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇති බවත්, ඒ සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන පවතින බවත් ගම්පහ දිසාපති ලලින්ද ගමගේ මහතා පවසනවා.
වර්ෂා තත්ත්වයේ යම් අඩුවක් පැවතියද දිස්ත්‍රික්කයේ ඇතැම් පහත් බිම් තවදුරටත් ජලයෙන් යටව පවතිනවා. අත්තනගලු ඔයෙහි දූනමලේ ජල මාපකයේ ජල මට්ටම මීට පෙර මීටර් 5.5 දක්වා ඉහළ ගොස් තිබූ අතර, ඊයේ දිනය වන විට එය මීටර් 4.30 දක්වා පහළ ගොස් සුළු ගංවතුර තත්ත්වයක් පෙන්නුම් කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළා.














