වෙසක් සමය තුළ ආගමික කටයුතුවල නිරත වන අවස්ථාවලදී තමන් සතු රන් ආභරණ ඇතුළු වටිනා භාණ්ඩ සොරුන්ගෙන් ආරක්ෂා කරගන්නා ලෙස පොලිසිය මහජනතාව වෙත විශේෂයෙන් දැනුම් දී සිටිනවා. වෙසක් උත්සව කාලසීමාව තුළ සාමය හා පූජනීයත්වය රැකගනිමින් ආගමික කටයුතු පවත්වාගෙන යාම සඳහා ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බවයි පොලිසිය අවධාරණය කරන්නේ.
මෙම කාලසීමාව තුළ ඔළුබක්කන් නැටීම, මුහුණු ආවරණ පැලඳ විකාර රූපීව හැසිරීම, අන් අයට බාධාවන අයුරින් අධික ශබ්දයෙන් නළා වාදනය කිරීම වැනි ක්‍රියා වලින් වළකින ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දන්සල් හා තොරණ අසල අධික ශබ්දයෙන් සංගීතය හෝ උත්සවයට නොගැළපෙන ගීත ප්‍රචාරය කිරීම ද තහනම් බව ඔවුන් සිහිපත් කරනවා. එමෙන්ම ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේදී අන් අයට බාධා නොවන පරිදි නීත්‍යනුකූල ක්‍රමවේදය අනුගමනය කරමින් ඒ සඳහා අදාළ අවසරය ලබාගෙන කටයුතු කළ යුතුයි.
වෙසක් සමයේ විහාරස්ථාන, තොරණ, පහන් කූඩු ප්‍රදර්ශන, බැති ගී සංදර්ශන සහ දන්සල් වෙත විශාල ජනතාවක් එක්රැස් වන බැවින් රථවාහන තදබදය අවම කරගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබා දී තිබෙනවා.














