වෙසක් උත්සවය නිමිත්තෙන් මේ වන විට දිවයින පුරා දන්සැල් 2,388ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. ලියාපදිංචි කිරීමේ කටයුතු මෙම මස මුල සිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් ආරම්භ කර ඇති අතර, එම කටයුතු මැයි 29 වන දින දක්වා ක්‍රියාත්මකයි.
කෙසේ වෙතත්, දන්සලක් ලබා දීමට අදහස් කරන පුද්ගලයින් හෝ සංවිධාන හැකි ඉක්මනින් තම දන්සල ලියාපදිංචි කරගන්නා ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ඉල්ලීමක් කරනවා. දන්සලක් ලියාපදිංචි කිරීමේදී එම ආහාර දන්සල සෞඛ්‍යාරක්ෂිතව සහ ක්‍රමානුකූලව ලබා දෙන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් ද අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් පවත්වනු ලබනවා. එම කටයුතු සඳහා පහසුවක් වන බැවින්, තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා හමුවී කඩිනමින් ලියාපදිංචි වන ලෙස සංගමය වැඩිදුරටත් කාරුණිකව ඉල්ලා සිටිනවා.














