කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා තත්ත්වයක් වන ගැබ්ගෙල පිළිකා කලින් හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සේවා කාර්යක්ෂම කිරීමේ අරමුණින්, රජය විසින් අති නවීන කොල්පොස්කොපි (Colposcopy) යන්ත්‍ර තවත් 6ක් ලබන ජූනි මාසයේදී ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබෙනවා. අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වවුනියාව යන ශික්ෂණ හා දිස්ත්‍රික් මහ රෝහල් කේන්ද්‍ර කර ගනිමින් මෙම යන්ත්‍ර ස්ථාපිත කිරීමට නියමිත අතර, ඒ සඳහා රුපියල් මිලියන 42කට අධික මුදලක් වෙන් කර තිබෙනවා.
මෙම වසරේ දැනටමත් කොල්පොස්කොපි යන්ත්‍ර 12ක් රෝහල් පද්ධතියට එක් කර ඇති අතර, එම එක් යන්ත්‍රයක වටිනාකම රුපියල් ලක්ෂ 60ක් වනවා. ඒ සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් රුපියල් මිලියන 72කට අධික ප්‍රතිපාදන වැය කර තිබෙනවා. දැනටමත් අනුරාධපුරය, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, ද සොයිසා කාන්තා රෝහල, මහනුවර, ගම්පහ, මාතර, මොණරාගල, පුත්තලම සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල ප්‍රධාන රෝහල්වල මෙම යන්ත්‍ර ස්ථාපිත කර අවසන්. මෙම නව යන්ත්‍ර ස්ථාපිත කිරීමත් සමඟ සමස්ත දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල් පද්ධතියේ ඇති කොල්පොස්කොපි යන්ත්‍ර සංඛ්‍යාව 33 දක්වා ඉහළ යනවා.
කොල්පොස්කොපි යනු ගැබ්ගෙල සහ යෝනි මාර්ගයේ අසාමාන්‍යතා පරීක්ෂා කිරීමට භාවිතා කරන වෛද්‍ය ක්‍රියාපටිපාටියක් වන අතර, මෙහි ඇති විශේෂිත විශාලන උපකරණය මගින් වෛද්‍යවරුන්ට අසාමාන්‍ය සෛල හෝ තුවාල හඳුනා ගැනීමට සහ ප්‍රතිකාර කිරීමට හැකියාව ලැබෙනවා. මානව පැපිලෝමා වයිරසය (Human Papilloma Virus) මගින් බෝවන ගැබ්ගෙල පිළිකා, පූර්ව පිළිකා අවධියේදීම හඳුනා ගැනීමෙන් වළක්වා ගත හැකි බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙනවා. වාර්ෂිකව මෙරටින් අලුතින් රෝගීන් 1200ක් පමණ හඳුනා ගන්නා අතර, නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් වසරකට රෝගීන් 180ක් පමණ ජීවිතක්ෂයට පත්වන බව සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වනවා.














