ආබාධ සහිත පුද්ගලයින් රැකියාවකට බඳවා ගන්නා සේවා යෝජක ආයතන වෙත මාසයකට රුපියල් 15,000ක උපරිමයකට යටත්ව, අදාළ පුද්ගලයාගේ වැටුපෙන් අඩක් මාස 24ක කාලයක් ගෙවීමට රජය සූදානම් බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් ඇමැති උපාලි පන්නිලගේ මහතා පවසනවා. ආබාධ සහිත පුද්ගලයින් රැකියාගත කිරීමේ ‘Next Dream’ වැඩසටහන යටතේ සේවා යෝජකයින් දැනුවත් කිරීමේ අවස්ථාවකදී ඇමැතිවරයා මේ බව සඳහන් කළා.
ශ්‍රී ලංකාවේ බරපතළ ආබාධ සහිත පුද්ගලයින් 721,000ක් පමණ සිටින බවත්, ඉන් 171,000කට දැනට මාසිකව රුපියල් 10,000ක ආධාර මුදලක් ලබා දෙන බවත් ඇමැතිවරයා පැවසුවා. ආබාධිත පුද්ගලයින්ගේ උන්නතිය වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන් අතර ඔවුන්ට රැකියා අවස්ථා උදා කර දීම ප්‍රධාන අරමුණක් වන අතර, පෞද්ගලික අංශයේ ආයතන මෙම ක්‍රියාවලියට දිරිමත් කිරීම සඳහා රජය මෙලෙස මැදිහත් වීමට තීරණය කර තිබෙනවා. මෙම වැඩසටහන සඳහා 2025 අය-වැයෙන් රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කර ඇති අතර, පවතින අවශ්‍යතාව අනුව මෙම දීමනාව රුපියල් 25,000 දක්වා ඉහළ නැංවීමට සාකච්ඡා කරමින් පවතින බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.
ආබාධ සහිත පුද්ගලයින් බොහෝ දෙනෙක් ආබාධ රහිත පුද්ගලයින්ට වඩා කාර්යක්ෂමව සහ ශක්තිමත්ව වැඩ කිරීමේ හැකියාවෙන් යුක්ත බැවින්, ඔවුන්ට අඩු වැටුපක් සහිත රැකියා ලබා දීම වෙනුවට ආයතනයේ ඵලදායීතාව ඉහළ නැංවිය හැකි වගකිවයුතු රැකියා ලබා දීම සඳහා පෞද්ගලික අංශය උනන්දු විය යුතු බව ඇමැතිවරයා අවධාරණය කළා. ආබාධ සහිත ප්‍රජාව ද සමාජයේ කොටස්කරුවන් ලෙස පිළිගනිමින් ඔවුන්ගේ අභිමානය සහ ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කිරීමේ වැදගත්කම පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කළා.














