ශ්‍රී ලංකා මධ්‍යම බැංකුව විසින් මෙරට මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම සහ අවදානම් කළමනාකරණය කිරීමේ අරමුණින් රන් ඇපකර මත ලබාදෙන ණය පහසුකම් සඳහා නව සීමාවන් පනවා තිබෙනවා. 2023 අංක 16 දරන ශ්‍රී ලංකා මධ්‍යම බැංකු පනතේ 105(1) වගන්තිය ප්‍රකාරව, මධ්‍යම බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගේ අත්සනින් යුතුව මෙම උපදෙස් මාලාව නිකුත් කර ඇත.
2026 මැයි 25 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි, රන් ඇපකර මත ලබාදෙන ණය සඳහා උපරිම ණය සහ වටිනාකම අතර අනුපාතය (LTV Ratio) 70%ක් ලෙස සීමා කර තිබෙනවා. මෙම නියෝගය සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, විශේෂිත බැංකු සහ මුදල් සමාගම් සඳහා අදාළ වේ. මෙම දිනයේ සිට අලුතින් ලබාදෙන රන් ණය මෙන්ම, නැවත අලුත් කරනු ලබන පවතින ණය පහසුකම් සඳහා ද මෙම 70%ක උපරිම සීමාව දැඩිව බලපැවැත්වේ.
උකස් පහසුකම්, රන් ණය සහ රන් ඇපකර මත ලබාදෙන වෙනත් ඕනෑම මූල්‍ය පහසුකමක් මේ යටතට අයත් වේ. මෙහිදී රන්වල වටිනාකම ලෙස වෙළෙඳපොළ වටිනාකම සැලකිය යුතු අතර, ණය ලබා දීමේදී රන් ඇපකරයේ නිවැරදි හා සාධාරණ වටිනාකම තක්සේරු කිරීම පිළිබඳව බැංකු සහ මුදල් සමාගම් වගබලා ගත යුතුයි. මූල්‍ය ආයතනවල ණය දීමේ ප්‍රමිතීන් ශක්තිමත් කිරීම මගින් සමස්ත මූල්‍ය පද්ධතියේ ආරක්ෂාව තහවුරු කිරීම මධ්‍යම බැංකුවේ මූලික අපේක්ෂාවයි.














