මැතිවරණයක් පැවැත්විය යුතුද නැද්ද යන්න තීරණය කිරීමේ බලය ඇත්තේ පාර්ලිමේන්තුවට සහ මැතිවරණ කොමිෂන් සභාවට මිස දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවා. පානදුරේදී පැවැති ජන රැලියක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.
වත්මන් ආණ්ඩුව අමූලික බොරු සහ ව්‍යාජ පොරොන්දු ලබා දී බලයට පත් වූ බවත්, ජනතාවට ලබා දුන් සහන පවා අද වන විට බොරුවක් බවට පත්ව ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළා. උගන්ඩාවේ ඇතැයි පැවසූ ඩොලර් බිලියන 18 පිළිබඳව සඳහන් කරමින්, රටේ ඩොලර් හිඟයක් පවතින මෙම අවස්ථාවේදී එම ඩොලර් ගෙන ඒමට කටයුතු කරන ලෙස ඔහු ආණ්ඩුවට අභියෝග කළා. එසේම, රටේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දීමට ආණ්ඩුවට නිශ්චිත සැලැස්මක් නොමැති බවත්, බදු බර පටවමින් ජනතාව පීඩාවට පත් කරන බවත් ඔහු පෙන්වා දුන්නා.
සැකකටයුතු පුද්ගලයින් හමුවීම සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, නීතිය සැමට සමාන නම් වරෙන්තුකරුවන් තානාපති කාර්යාලවලට ගෙන්වා ප්‍රකාශ ලබාගෙන ඔවුන්ව මුදා හරින්නේ කෙසේද යන්න ප්‍රශ්න කළ යුතු බවයි. දේශපාලන අරමුණු වෙනුවෙන් පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ ගෞරවය විනාශ නොකරන ලෙසත්, නීතිය ක්‍රියාත්මක කිරීමේදී දේශපාලන ඇඟිලි ගැසීම් සිදු නොකරන ලෙසත් ඔහු ආණ්ඩුවට අවධාරණය කළා.














