පසුගිය මැයි 18 වැනි දින රණවිරු ස්මාරකය ආසන්නයේ පැවති පෙරහුරු කටයුතු අතරතුර එම භූමියට අනවසරයෙන් ඇතුළු වී රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා තලංගම පොලිස් ස්ථානය වෙත අද (25) පෙරවරුවේ පැමිණි ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තලංගම පොලිසිය මීට පෙර ඔහුට ප්‍රකාශයක් ලබා දීම සඳහා කැඳවීමක් කර තිබූ අතර, අද දින ඒ සඳහා පෙනී සිටි අවස්ථාවේදී ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ. අයුතු ජන රාශිය, අයුතු ලෙස ඇතුළු වීම සහ රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මොහුව ඉදිරියේදී කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














