කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී සමූහාණ්ඩුවේ (DRC) ඉබෝලා රෝගය ව්‍යාප්ත වීමත් සමඟ, රටේ සෞඛ්‍ය බලධාරීන් සහ ප්‍රදේශවාසීන් අතර මතුව ඇති දැඩි නොසන්සුන්තාවය හේතුවෙන් සෞඛ්‍ය මධ්‍යස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ල වී තිබේ.
මොන්ග්බ්වාලු (Mongbwalu) ප්‍රදේශයේ පිහිටි සෞඛ්‍ය මධ්‍යස්ථානයකට කෝපයට පත් වූ පිරිසක් විසින් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් එහි රඳවා සිටි සැක සහිත රෝගීන් 18 දෙනෙකු පලා ගොස් ඇති බව වාර්තා වේ. මීට අමතරව, රුවන්පාරා (Rwampara) ප්‍රදේශයේ ද සෞඛ්‍ය සායනයකට ප්‍රහාරයක් එල්ල වී ඇති අතර, මියගිය ඉබෝලා රෝගියෙකුගේ දේහය ඥාතීන්ට භාර නොදීම හේතුවෙන් ඇති වූ නොසන්සුන්තාවයක් මෙයට හේතු වී ඇත.
මේ වන විට බුන්ඩිබුග්යෝ (Bundibugyo) නැමැති ඉබෝලා ප්‍රභේදය කොංගෝව සහ උගන්ඩාව පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, මේ දක්වා රෝගීන් 850කට අධික සංඛ්‍යාවක් සහ මරණ 200ක් පමණ වාර්තා වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මෙම වසංගතය ජාත්‍යන්තර මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, මෙතෙක් මෙම විශේෂිත ප්‍රභේදය සඳහා නිල වශයෙන් අනුමත එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත.














