දුරකථන ඇමතුම් මගින් බැංකු ගිණුම්වල ඇති මුදල් නීතිවිරෝධී මුදල් (කළු සල්ලි) බව පවසා වයෝවෘද්ධ කාන්තාවකව බියගන්වා රුපියල් ලක්ෂ 23ක මුදලක් වංචා කළ පුද්ගලයින් දෙදෙනෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශණ ඒකකය විසින් ඊයේ (24) අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට පත් සැකකරුවන් හපුතලේ සහ මොරටුව, රාවතාවත්ත ප්‍රදේශවල පදිංචි 29 සහ 42 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි. කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි කාන්තාවක විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය මෙම විමර්ශනය ආරම්භ කර තිබුණි.සැකකරුවන් එම කාන්තාවට දුරකථනයෙන් අමතා ඇයගේ බැංකු ගිණුම් විස්තර ලබාගෙන ඇති අතර, ඇගේ ගිණුමේ ඇති මුදල් ‘කළු සල්ලි’ බව පවසමින් ඒවා පරීක්ෂා කිරීමේ මුවාවෙන් සැකකරුවන්ගේ ගිණුමකට එම මුදල් බැර කරවාගෙන ඇත. පරීක්ෂාවෙන් පසු මුදල් නැවත ලබා දෙන බවට සහ මෙම සිද්ධිය ගැන කිසිවෙකුට නොකියන ලෙසට ඔවුන් කාන්තාවට තර්ජනය කර තිබේ. කෙසේ වෙතත් පොරොන්දු වූ පරිදි මුදල් ආපසු නොලැබීම නිසා තමන් වංචාවකට ලක්ව ඇති බව වටහාගත් කාන්තාව පසුව පොලිසියට පැමිණිලි කර ඇත.
ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පදනම් කරගෙන සිදුකළ මෙහෙයුමකින් පසු මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ වෙළඳසැලක සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් විය. කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ගුණසේකර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන අතර, සැකකරුවන් අද (25) කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.














