ශ්‍රී ලංකා යුද හමුදාවේ වසර 21ක කාලයක් සේවය කර සේවයෙන් බැහැර වූ හිටපු රණවිරුවන් පිරිසක් අද (25) පෙරවරුවේ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත විය.තමන් වසර විසි එකක් වැනි දීර්ඝ කාලයක් රට වෙනුවෙන් යුද හමුදාවේ සේවය කළද, කිසිදු විශ්‍රාම වැටුපක් ලබා නොදී සේවයෙන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බව ඔවුන් මෙහිදී පෙන්වා දුන්හ. තම පවුල් නඩත්තු කිරීමට සහ දෛනික ජීවන වියදම් පියවා ගැනීමට නොහැකිව මේ වන විට තමන් දැඩි ආර්ථික අසරණභාවයකට පත්ව ඇති බවද ඔවුහු කියා සිටියහ.තමන්ට සාධාරණ විශ්‍රාම වැටුපක් ලබා දෙන ලෙස හෝ අවම වශයෙන් සේවා දිගුවක් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින මෙම රණවිරුවන්, තම සේවය අගය කරමින් තමන්ට නිසි යුක්තිය ඉටු කරන ලෙස බලධාරීන්ගෙන් දැඩිව ඉල්ලා සිටියි.













