ශ්‍රී ලංකාව සහ ඉන්දියාව පෝක් සමුද්‍ර සන්ධිය නමැති පටු මුහුදු තීරයෙන් වෙන් වී තිබුණද, දෙරට අතර පවතින්නේ ඊට වඩා බෙහෙවින් ගැඹුරු වූ ශිෂ්ටාචාරමය සබඳතාවක් (Civilizational continuum) බවත්, එම ඓතිහාසික බැඳීම පෝක් සමුද්‍ර සන්ධියේ දෙපසම වෙසෙන ජනතාව විසින් තවමත් නිසි පරිදි වටහාගෙන හෝ අගය කර නොමැති බවත් හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු සහ ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන මිලින්ද මොරගොඩ (Milinda Moragoda) මහතා පවසයි. ජාත්‍යන්තර “WION” පුවත් සේවය වෙත විශේෂ ලිපියක් සපයමින් ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ ඓතිහාසික අනන්‍යතාවක් පැවතුණද, එහි සංස්කෘතික, ආගමික, භාෂාමය සහ මිථ්‍යා පදනම ඉන්දියාව සමඟ දැඩි ලෙස බද්ධ වී පවතින බවයි.
මෙරට ප්‍රධාන ප්‍රජාවන් දෙකම වන සිංහල සහ දෙමළ ජනතාව හරහා මෙම උතුරු සහ දකුණු ඉන්දියානු සබඳතා පිළිබිඹු වන බව මොරගොඩ මහතා පවසයි. එහිදී දකුණු ඉන්දියාව සමඟ පවතින දෙමළ-හින්දු ශිෂ්ටාචාරමය සබඳතාව, භාෂාව, කෝවිල් සම්ප්‍රදායන් සහ වන්දනා මාර්ග ඔස්සේ වර්තමානයේද ප්‍රසිද්ධියේ දැකගත හැකි වුවද, සිංහල ජනතාව සහ උතුරු ඉන්දියාව අතර පවතින සම්බන්ධතාවය පොදු ජන විඥානය තුළ අඩුවෙන් අගය කිරීමකට ලක්වන බව ඔහු පෙන්වා දෙයි. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේදී අශෝක අධිරාජ්‍යයා විසින් තමන්ගේ පුත් මහින්ද රහතන් වහන්සේ සහ සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ලංකාවට එවමින් බුදුදහම මෙරටට දායාද කිරීම හුදු රාජ්‍ය තාන්ත්‍රික පියවරක් පමණක් නොව, එය දෙරට අතර තිබූ සුවිශේෂී විශ්වාසය සහ ශිෂ්ටාචාරමය සබඳතාවය මනාව කියාපාන්නක් බව ලිපියේ සඳහන් වේ.
මෙම සබඳතාවය වර්තමාන ජීවමාන සංස්කෘතිය තුළද දැකගත හැකි අතර, මැයි මස 1 වනදා ඉන්දියාව බුද්ධ පූර්ණිමාව (Buddha Purnima) සැමරූ අතර, ශ්‍රී ලංකාව මැයි මස 30 වනදා වෙසක් (Vesak) උත්සවය සැමරීමට සූදානම් වෙයි. බුදුන් වහන්සේගේ ජීවිතය හා බැඳුණු බුද්ධගයාව, සාරානාත්, කුසිනාරාව සහ ලුම්බිණිය වැනි ඉන්දීය පූජනීය ස්ථාන මෙරට බෞද්ධයන්ගේ ගෞරවයට පාත්‍ර වන අතර, 5 වන සියවසේදී මහානාම හිමියන් විසින් ලියන ලද මහාවංශය (Mahavamsa) ලංකාවේ ඓතිහාසික මූලාශ්‍රයක් මෙන්ම මෞර්ය යුගයේ ඉන්දියාව ප්‍රතිසංස්කරණය කිරීමටද වැදගත් සාක්ෂියක් සපයයි. පාලි සහ සංස්කෘත භාෂාවන්ගෙන් පෝෂණය වූ සිංහල භාෂාව, විජය කුමරුගේ පැමිණීම මෙන්ම බිහාර් සහ ඔඩිෂා බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථාන සමඟ පැවති සබඳතා මීට තවත් උදාහරණ වේ.
මීට අමතරව රාමායණ (Ramayana) මහා කාව්‍යය තුළද ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමිවන අතර, එහිදී රාවණා රජු දුෂ්ටයෙකු ලෙස පමණක් නොව, උගත්, දක්ෂ සහ ආත්මදමනයෙන් යුත් පාලකයෙකු ලෙසද හඳුන්වා දී තිබේ. මෙම ඓතිහාසික පසුබිම සැලකිල්ලට ගනිමින්, වත්මන් ඉන්දු-ශ්‍රී ලංකා සබඳතා වඩාත් ශක්තිමත් කිරීම සඳහා බුද්ධ වන්දනා චාරිකා මෙන්ම රාමායණ සංස්කෘතික මාර්ග, ශිව-ශක්ති සහ මුරුගන් වන්දනා පරිපථ වැනි ජනතාව අතර සබඳතා (People-to-people connectivity) වර්ධනය කරන ව්‍යාපෘති සඳහා වැඩි වශයෙන් ආයෝජනය කළ යුතු බව මිලින්ද මොරගොඩ මහතා යෝජනා කරයි. වර්තමාන සංකීර්ණ ඉන්දු-පැසිෆික් (Indo-Pacific) කලාපීය දේශපාලනය තුළ මෙවැනි ශිෂ්ටාචාරමය අවබෝධයන් හුදු සංකල්පයක් පමණක් නොව, එය අසල්වැසි රටවල් අතර විශ්වාසය සහ දිගුකාලීන එකඟතාවය ගොඩනංවන උපායමාර්ගික යටිතල පහසුකමක් (Strategic infrastructure) බව පවසන මිලින්ද මොරගොඩ මහතා, දෙරටේ හවුල් උරුමය නැවත සොයා ගැනීම වඩාත් ස්ථාවර සහ සම්බන්ධිත අනාගතයක් උදෙසා පදනම දැමීමක් බව සිය ලිපියෙන් වැඩිදුරටත් අවධාරණය කර සිටී.
මුලාශ්‍ර – Pathfinder Foundation
















