මාතර, නිල්වලා ගඟ ආශ්‍රිත ලවණ බාධකය හේතුවෙන් 2019-2022 කාලසීමාවේදී වගා හානිවලට ලක්වූ ගොවීන් සඳහා වන්දි ප්‍රදානය කිරීම අද (27) මාලිම්බඩ ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.එවක පැවති රජයන් විසඳුම් ලබා නොදුන් මෙම ගැටලුව සඳහා වත්මන් රජය 2026 අයවැයෙන් රුපියල් මිලියන 1200ක ප්‍රතිපාදන වෙන් කර ඇත. අක්කර 12,800ක් වෙනුවෙන් අනුක්‍රමික කන්න 07ක් සඳහා මෙම වන්දි ගෙවීමට පියවර ගෙන ඇති අතර, ඉදිරි දින 14 ඇතුළත සියලු වන්දිලාභීන් වෙත එම මුදල් ලබා දීමට අපේක්ෂා කෙරේ.ජනාධිපතිවරයා මෙහිදී දැක්වූ අදහස්වලට අනුව, විනයක් සහිත ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගී ඇති නිසා පීඩාවකදී ජනතාවට ඉතිහාසයේ වැඩිම වන්දි මුදල ලබා දීමට රජයට හැකි වී තිබේ. කුඩා ව්‍යාපාරිකයන්ට ණය ලබා දීම සඳහා රුපියල් මිලියන 90,000ක් සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට ප්‍රජාශක්ති වැඩසටහනට රුපියල් මිලියන 25ක් වෙන් කර ඇත. වත්මන් ආණ්ඩුව පන්නා හැරීමට ජනතාවට කිසිදු අවශ්‍යතාවක් නැති අතර, ඒ වෙනුවෙන් සිහින දකින්නේ හොරුන්, වංචනිකයන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පමණි. දූෂණ චෝදනා අධිකරණය හමුවේ විභාග වන විට කලබල වී අසත්‍ය පතුරවන්නන්ට නොරැවටී, රජය ජනතා විශ්වාසය දිනා ගනිමින් ඉදිරියටම යන බව සඳහන් කළේය. මාතර දිස්ත්‍රික්කයේ සංවර්ධනය සහ ජනතාවගේ ආදායම් මාර්ග ශක්තිමත් කිරීමට අමතරව, අධ්‍යාපන පරිවර්තනයක් සඳහා රට පුරා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක් ඉදි කරමින් සිටී.














