නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් පරිගණක අපරාධවල නිරත වූ චීන ජාතිකයින් 120 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියට අදාළව, ඔවුන් සතු වූ විදේශ ගමන් බලපත්‍ර 19ක් සන්තකයේ තබා ගැනීම සහ ඒවා නිදහස් කිරීම සඳහා අල්ලස් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් සැකපිට වැලිකඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCIB) සඳහන් කරන්නේ 56 හැවිරිදි මෙම ස්ථානාධිපතිවරයා වේයන්ගොඩ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගත් බවත්, හෙට (28) දින ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.
වැලිකඩ ප්‍රදේශයේ තට්ටු නිවාස සංකීර්ණයක සයිබර් අපරාධවල නිරත වූ චීන ජාතිකයින් 120 දෙනෙකු පසුගිය 02 වනදා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන් සතු භාණ්ඩ හා විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කළද, එම පිරිසෙන් 19 දෙනෙකුට අයත් විදේශ ගමන් බලපත්‍ර ඒ අතර නොතිබිණි. මේ පිළිබඳව පොලිස්පතිවරයා වෙත ලද තොරතුරකට අනුව මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය සිදු කළ විමර්ශනවලදී, අදාළ ගමන් බලපත්‍ර 19 ස්ථානාධිපතිවරයා විසින් අනීතික ලෙස තබාගෙන ඇති බවත්, ඒවා නිදහස් කිරීම සඳහා ගමන් බලපත්‍රයකට රුපියල් ලක්ෂ 03 බැගින් මුදලක් ඉල්ලා ඇති බවත් අනාවරණය වී තිබේ.














