අමෙරිකානු හමුදාව විසින් ඉරානයේ බන්දාර් අබ්බාස් වෙත එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් තමන් අමෙරිකානු ගුවන් කඳවුරක් ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කළ බව ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කරයි.
ඉරාන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි, බන්දාර් අබ්බාස් ගුවන් තොටුපළ ආසන්නයේ ස්ථානයකට අමෙරිකානු හමුදාව විසින් අද අලුයම එල්ල කරන ලද ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් මෙම ප්‍රහාරය දියත් කර තිබේ. කෙසේ වෙතත්, ඉරාන හමුදාව විසින් පහර දුන් නිශ්චිත ගුවන් කඳවුර කුමක්ද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කර නොමැත. මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයකම අමෙරිකානු ගුවන් කඳවුරු පිහිටා ඇත.
මෙම ප්‍රහාරය අමෙරිකාවට දෙන ලද “බැරෑරුම් අනතුරු ඇඟවීමක්” බවත්, කිසිදු ආක්‍රමණයක් පිළිතුරු නොදී ඉතිරි නොවන බවත් ඉරාන විප්ලවවාදී හමුදාව පවසයි.
මේ අතර, ඉරානය ප්‍රහාරය දියත් කළ බව පැවසූ කාලවකවානුවට ආසන්නව, කුවේට් හමුදාව නිවේදනය කළේ සිය ගුවන් ආරක්ෂක පද්ධතිය මගින් සතුරු ඩ්‍රෝන යානා සහ මිසයිල කිහිපයක් අන්තර්හන් (intercept) කළ බවයි. කෙසේ වෙතත්, එම ප්‍රහාරවල මූලාශ්‍රය පිළිබඳව කුවේට් බලධාරීන් පැහැදිලි ප්‍රකාශයක් සිදු කළේ නැත.
බන්දාර් අබ්බාස් නගරයට නැගෙනහිරින් අද අලුයම විශාල පිපිරීම් තුනක් ඇසුණු බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු නිලධාරියෙකු තහවුරු කළේ, අමෙරිකානු හමුදාව විසින් ඉරාන ඩ්‍රෝන යානා හතරක් වෙඩි තබා බිම හෙළූ බවත්, පස්වන ඩ්‍රෝන යානයක් දියත් කිරීමට සූදානම් වූ ඉරාන ගුවන් පාලන මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල කළ බවත්ය.














