අටමස්ථානාධිපති ධුරයේ කටයුතු තාවකාලිකව ආවරණය කිරීම සඳහා උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක සහ රුවන්වැලි චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක නාහිමියන් පත් කිරීමට අටමස්ථාන කමිටුව තීරණය කර ඇති බව මල්වතු මහා විහාරය නිවේදනය කරයි.
මෙම තීරණය ගනු ලැබුවේ අද (30) රැස්වූ මල්වතු මහා විහාරීය ගරුතර කාරක මහා සංඝ සභාවේදීය. අටමස්ථානාධිපති සහ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා පිළිබඳ පවතින අධිකරණ කටයුතු අවසන් වී අවසන් තීරණයක් ලැබෙන තෙක් උන්වහන්සේගේ නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පදවිය අත්හිටුවීමට ද කාරක මහා සංඝ සභාව තීරණය කර ඇත.
මල්වතු පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය පහමුණේ සුමංගල නාහිමියන්ගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ, මල්වතු මහා විහාරීය කාරක මහා සංඝ සභාව වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම තීරණ ගනු ලැබූ බවයි.
















