උද්ධමනය පාලනය කිරීම සඳහා මධ්‍යම බැංකු විසින් ගනු ලබන ජනප්‍රිය නොවන තීරණ හේතුවෙන් එම ආයතනවල ස්වාධීනත්වයට දැඩි දේශපාලන බලපෑම් එල්ල වෙමින් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය නිලධාරීන් පවසයි.
ක්‍රොඒෂියාවේ ඩබ්්‍රොව්නික් නුවර පැවැති සමුළුවකදී අදහස් දක්වමින් නිලධාරීන් පෙන්වා දුන්නේ, විශේෂයෙන්ම ඉරාන යුද්ධය හේතුවෙන් තෙල් මිල ඉහළ යාමත් සමඟ ගෝලීය වශයෙන් උද්ධමනය උග්‍ර වී ඇති බවයි. මෙම තත්ත්වය පාලනය කිරීමට නම් පොලී අනුපාත ඉහළ දැමීම වැනි දැඩි තීරණ ගැනීමට මධ්‍යම බැංකුවලට සිදුව ඇතත්, එමගින් දේශපාලන මැදිහත්වීම් ඉහළ ගොස් ඇතැයි ඔවුන් පවසයි.
උද්ධමනය අඩු මට්ටමක පවතින විට මධ්‍යම බැංකුවක ස්වාධීනත්වය පවත්වා ගැනීම පහසු වුවද, මිල ගණන් ඉහළ යාමත් සමඟ ජනප්‍රිය නොවන පියවර ගැනීමට සිදුවන විට එය ඉතා සංකීර්ණ සහ අභියෝගාත්මක කර්තව්‍යයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යුරෝපීය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ හෙල්ගෙ බර්ගර් මහතා පැවසීය.
රාජ්‍ය ණය ඉහළ යාම සහ විවිධ පාර්ශවයන්ගෙන් එල්ල වන ප්‍රතිවිරුද්ධ ආර්ථික ඉල්ලීම් හේතුවෙන් දේශපාලනඥයන් මධ්‍යම බැංකුවල ප්‍රතිපත්ති කෙරෙහි බලපෑම් කිරීමට උත්සාහ කිරීම මධ්‍යම බැංකුවල විශ්වාසය පළුදු වීමට සහ උද්ධමනය පාලනය කිරීමේ අරගලය තවත් දුෂ්කර වීමට හේතු විය හැකි බවට නිලධාරීහු අනතුරු අඟවති.
මධ්‍යම බැංකුවල ස්වාධීනත්වය අහිමි වීම මගින් අනාගතයේදී ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීමට ඇති හැකියාව බිඳ වැටිය හැකි බව විශේෂඥ මතයයි. ගෝලීය ආර්ථික අර්බුද හමුවේ මධ්‍යම බැංකු තමන්ගේ ස්වාධීනත්වය ආරක්ෂා කර ගනිමින් වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව මෙම සමුළුවේදී නැවතත් අවධාරණය කෙරිණි.

