සියලුම රාජ්‍ය ආයතනවල තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම සහ භාවිතය අද (31) සිට සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම වෙනුවෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් පසුගිය මැයි 15 වනදා නිකුත් කරන ලද විශේෂ චක්‍රලේඛයකට අනුව මෙම පියවර ගෙන ඇත.
අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු, සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය මඟින් තනි භාවිත ප්ලාස්ටික් ආයතන තුළ භාවිත කිරීම වැළැක්වීම සඳහා වහාම ක්‍රියාමාර්ග ගන්නා ලෙස උපදෙස් දී තිබේ.
පරිසර අමාත්‍යාංශයේ එකඟතාව ඇතිව නිකුත් කර ඇති මෙම නව නියෝගයට අමතරව, රාජ්‍ය ආයතන සියල්ලම “ත්‍රී ආර්” (3R) සංකල්පය එනම් අපද්‍රව්‍ය අවම කිරීම (Reduce), නැවත භාවිතය (Reuse) සහ ප්‍රතිචක්‍රීකරණය (Recycle) යන ක්‍රමවේදයන්ට අනිවාර්යයෙන්ම අනුගත විය යුතු බව ද අදාළ අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.

