‘ක්ලීන් ශ්‍රී ලංකා’ සංකල්පය යටතේ සමාජීය සහ පාරිසරික වශයෙන් උසස්, ඩිජිටල් සේවා පහසුකම් සහිත නව ආදර්ශ නගර නිර්මාණය සඳහා මේ වන විට සැලසුම් සකස් කරමින් පවතින බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කාර්යසාධක බළකා රැස්වීමේදී අනාවරණය විය. මෙම නගර සංවර්ධන වැඩසටහන වඩාත් ප්‍රායෝගික සහ විද්‍යාත්මක පදනමකින් ක්‍රියාත්මක කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ පූර්ණ තාක්ෂණික සහාය ලබා ගැනීමට එහිදී තීරණය කෙරිණි.
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල නගර නිර්මාණ මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීම සඳහා මොරටුව විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිතුමිණී රත්නමලල මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ විද්වත් කමිටුවක් පත් කර ඇති අතර, මෙම ව්‍යාපෘතියේ මූලික අදියරේදී ලෝකයේ සාර්ථක නගර නිර්මාණ ආකෘතීන් අධ්‍යයනය කර ආදර්ශ නගර කිහිපයක් ප්‍රායෝගිකව නිර්මාණය කිරීමට අපේක්ෂා කෙරේ. මෙම ව්‍යාපෘතිය භෞතික සංවර්ධනයට පමණක් සීමා නොවී, නගරවල වෙසෙන ජනතාව උසස් මානුෂීය සහ සමාජීය සාරධර්මවලින් අනූන යහපත් නාගරික ප්‍රජාවක් බවට පත් කිරීම සහ පරිසර හිතකාමී පිරිසුදු නාගරික පරිසරයක් නිර්මාණය කිරීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු කෙරේ.
එමෙන්ම, මහජනතාවට අවශ්‍ය සේවා කඩිනමින් සහ විනිවිදභාවයෙන් යුතුව ලබා දීම සඳහා නවීන තාක්ෂණයෙන් බලගැන්වුණු පුළුල් ඊ-සේවා ජාලයක් නගරය තුළ ස්ථාපිත කිරීමටත්, විද්‍යානුකූල කැළිකසළ කළමනාකරණය දීපව්‍යාප්තව ක්රියාවේ යෙදවීමට පියවර ගැනීමටත් සැලසුම් කර ඇත. මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ කාර්යසාධක බළකායේ සාමාජිකයෝ එක්ව සිටියහ.
















