ලබන වසර සඳහා ගල්අඟුරු ආනයනය කිරීමේදී බාල ප්‍රමිතියෙන් යුත් නිෂ්පාදන රටට ඇතුළු වීම වැළැක්වීමට රජය විසින් දැඩි රීති මාලාවක් හඳුන්වා දී ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. මින් ඉදිරියට ගල්අඟුරු ආනයනයේදී සිදුවන වංචා සහ අක්‍රමිකතා වැළැක්වීම සඳහා නව ටෙන්ඩර් පත්‍රිකාවට විශේෂ පිරිවිතරයන් රැසක් ඇතුළත් කර ඇති බව අමාත්‍යවරයා අවධාරණය කළේය. නොරොච්චෝළ ලක්විජය ගල්අඟුරු බලාගාරයේ අවශ්‍යතාව වෙනුවෙන් මෙට්‍රික් ටොන් 60,000 බැගින් වූ ගල්අඟුරු නැව් තොග 25ක් මිලදී ගැනීම සඳහා දැනටමත් නව ටෙන්ඩර් කැඳවා ඇත.
නව ක්‍රමවේදය යටතේ ගල්අඟුරු පටවන වරායේදීම (load-port) එහි තත්ත්වය, ගුණාත්මකභාවය සහ පැටවීමේ ක්‍රියාවලිය සනාථ කරන වාර්තාව ඍජුවම ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමට කටයුතු සම්පාදනය කර තිබේ. මීට පෙර පැවති ක්‍රමවේදය යටතේ සැපයුම්කරු ලබාදෙන වාර්තා මත පමණක් විශ්වාසය තැබීමට සිදුවුවද, නව පිරිවිතරයන් සහ දැඩි නීති-රීති හරහා අනාගතයේදී ගල්අඟුරු ආනයනය වඩාත් විනිවිදභාවයෙන් සහ ගුණාත්මකව සිදු කිරීමට හැකිවනු ඇති බව බලශක්ති අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
නව ටෙන්ඩර් කොන්දේසි අනුව, සැපයුම්කරුවකු ලෙස සුදුසුකම් ලැබීමට නම් වෙනත් රටවලට අවම වශයෙන් ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2ක් සැපයූ ඉතිහාසයක් තිබිය යුතු බව නියම කර ඇත. මීට පෙර මෙම සීමාව මෙට්‍රික් ටොන් මිලියන 1ක් ලෙස පැවති අතර, අත්දැකීම් බහුල විශ්වාසදායක සැපයුම්කරුවන් පමණක් තෝරාගැනීම මෙහි අරමුණයි. එසේම, ලියාපදිංචි සැපයුම්කරුවන්ගෙන් පමණක් තෝරාගැනීම වෙනුවට විවෘත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කිරීම හරහා වැඩි තරගකාරිත්වයක් ඇති කරමින් රටට වඩාත්ම වාසිදායක මිල ගණන් ලබාගැනීමට රජය අපේක්ෂා කරයි.
















