අසමානතා සහ කෘත්‍රිම බුද්ධිමය අභියෝගයන් ජය ගැනීම උදෙසා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ විෂයමාලා සංශෝධනයට එහා ගිය ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ කාලීන අවශ්‍යතාව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් පෙන්වා දෙන ලදී. කොළඹදී පැවති රදගුරු සිරිල් අබේනායක අනුස්මරණ දේශනයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළ අතර, මෙරට අධ්‍යාපන ප්‍රතිපත්තියේ ඓතිහාසික ගමන්මඟ පිළිබඳව ද ඇය දීර්ඝ වශයෙන් කරුණු පැහැදිලි කළාය.
විශේෂයෙන්ම මෙරට පවතින කුසලතා නොගැලපීම සහ රාජ්‍ය අංශයේ රැකියා ලබාගැනීම සඳහා පවතින පෝලිම් සංසිද්ධිය රටේ පවතින ආර්ථික අභියෝගවලට ප්‍රබල හේතුවක් වී ඇති බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය. දශක ගණනාවක් පුරා තාක්ෂණික කුසලතා සංවර්ධනයට ප්‍රමුඛත්වය දුන්නද, ව්‍යුහාත්මක ගැටලු විසඳීමට එම පියවර අසමත් වී ඇති බව ද ඇය සඳහන් කළාය. නිදහස් අධ්‍යාපන ක්‍රියාවලියේ සැබෑ අරමුණ ශ්‍රම බලකායක් ගොඩනැගීම පමණක් නොව, දේශපාලනිකව සවිඥානික, සදාචාරාත්මකව ස්ථාවර සහ විවේචනාත්මකව සිතන පුරවැසියන් බිහිකිරීම බව ද ඇය අවධාරණය කළාය.
අධ්‍යාපන පද්ධතිය තුළ විසඳිය යුතු ප්‍රධාන අර්බුද පහක් පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී කරුණු දැක්වූවාය. අධ්‍යාපන ආයතන අතර පවතින පරතරය, සමාජ වගකීමෙන් යුතු පුරවැසියන් බිහිකිරීමේ අසමත්කම, කාන්තාවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ සහ ශ්‍රම බලකායට එක්වීමේ පරතරය, කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික වෙනස්කම්වලට අනුගත වීමේ අවශ්‍යතාව සහ අධ්‍යාපනය සහතික ලබාගැනීමේ මෙවලමක් ලෙස පමණක් සැලකීම එම ප්‍රධාන අර්බුදයන් වේ. කෘත්‍රිම බුද්ධිය වැනි නවීන අභියෝග ජය ගැනීම සඳහා ඩිජිටල් සාක්ෂරතාව සහ මාර්ගගත ආරක්ෂාව ශක්තිමත් කිරීමේ වැදගත්කම ද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
අධ්‍යාපනය යනු ලෝකය අවබෝධ කරගෙන එය පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියක් බවත්, ඒ සඳහා ගුරු වෘත්තිය නැවත සමාජ ගෞරවයට පාත්‍ර වූ උතුම් වෘත්තියක් ලෙස ස්ථාපිත කළ යුතු බවත් අග්‍රාමාත්‍යවරිය අවසාන වශයෙන් පැවසුවාය. අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවසාන අරමුණ විය යුත්තේ සමාජයේ සෑම ක්ෂේත්‍රයකම ජනතාවට විශ්වාසය තැබිය හැකි පරිණත නායකයන් පිරිසක් බිහිකිරීම බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
















