අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය කොළඹ ක්‍රිස්තු ජීවමාන ගැලවුම්කරුවාණන්ගේ ආසන දෙව්මැදුරේදී පැවති බිෂොප් සිරිල් අබේනායක අනුස්මරණ දේශනයට එක්වෙමින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුකළ යුතු පරිවර්තනීය ප්‍රතිසංස්කරණ පිළිබඳව අදහස් දක්වන ලදී. බිෂොප් දුෂන්ත රොඩ්‍රිගෝ මහතාගේ ආරාධනයෙන් මෙම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ පවතින බහු-ආගමික සහයෝගීතාවය සහ බහුත්වවාදය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළාය.
අධ්‍යාපන ප්‍රතිපත්තියේ ඓතිහාසික ගමන් මග ඇගයීමට ලක්කළ අග්‍රාමාත්‍යවරිය, 1971 ILO සීර්ස් වාර්තාව උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග කෙරෙහි බලපා ඇති කුසලතා නොගැලපීම සහ රාජ්‍ය අංශයේ රැකියා සඳහා පවතින පෝලිම් සංස්කෘතිය පිළිබඳව අවධානය යොමු කළාය. පසුගිය දශක ගණනාවක සිදුකළ ප්‍රතිසංස්කරණ මගින් වෙළඳපොළ අවශ්‍යතා අනුව STEM, තාක්ෂණික අධ්‍යාපනය සහ මෘදු කුසලතා කෙරෙහි දැඩි අවධානයක් යොමු කළද, එමගින් රටේ පවතින මූලික ව්‍යුහාත්මක අර්බුද විසඳීමට නොහැකි වී ඇති බව ඇය පෙන්වා දුන්නාය. නිදහස් අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය විය යුත්තේ හුදෙක් ආයතනික අවශ්‍යතා සඳහා ශ්‍රම බලකායක් පුහුණු කිරීම නොව, ප්‍රජාතන්ත්‍රවාදී රටක් සඳහා දේශපාලනික වශයෙන් දැනුවත්, සදාචාරාත්මකව පෝෂණය වූ සහ විවේචනාත්මකව නිරත විය හැකි පුරවැසියන් බිහි කිරීම බව ඇය අවධාරණය කළාය.
ප්‍රතිසංස්කරණ මගින් විසඳිය යුතු ප්‍රධාන අර්බුද පහක් අග්‍රාමාත්‍යවරිය විසින් හඳුනා ගන්නා ලදී. ප්‍රභූ සහ ප්‍රභූ නොවන අධ්‍යාපන ආයතන අතර පවතින පරතරය පුළුල් වීම සහ රජයට අයත් ප්‍රභූ පාසල් පවා සමාජ වරප්‍රසාද තවදුරටත් ප්‍රතිනිෂ්පාදනය කිරීම ඉන් එකකි. දේශපාලනික වශයෙන් පරිණත, විශ්ලේෂණාත්මක සහ සමාජීය වගකීමක් සහිත පුරවැසියන් බිහි කිරීමට අතීත ප්‍රතිසංස්කරණකරුවන් අපේක්ෂා කළ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි වීම තවත් කරුණකි.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් කෘත්‍රිම බුද්ධිය වැනි වෙනස්කම්වලට ගැලපෙන පරිදි ගැඹුරු ක්‍රමවේද වෙනස්කම් සහ ඩිජිටල් සාක්ෂරතාවය වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවය ඇය පෙන්වා දුන්නාය. අර්ථවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා විෂය නිර්දේශ වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා අධ්‍යාපන පරිසරය, ආයතනික ව්‍යුහයන් සහ ඉගැන්වීම් ක්‍රමවේදවල පුළුල් පරිවර්තනයක් අවශ්‍ය බවත් ඇය අවධාරණය කළාය.
















