අසමානතා සහ කෘත්‍රිම බුද්ධිය වැනි නූතන අභියෝග ජය ගැනීම සඳහා විෂය මාලා සංශෝධනයන්ට පමණක් සීමා නොවූ, ගැඹුරු ව්‍යුහාත්මක අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බව අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. ඇය මේ බව පැවසුවේ පසුගිය මැයි 30 වැනිදා Cathedral of Christ the Living Saviour දෙව්මැදුරේදී පැවති රදගුරු සිරිල් අබේනායක අනුස්මරණ දේශනයට එක්වෙමිනි.
“21 වැනි සියවසේ ශ්‍රී ලංකාව සහ ඉන් ඔබ්බට අධ්‍යාපනයේ අනාගතය හැඩගැස්වීම” යන තේමාව යටතේ අදහස් දක්වමින් අගමැතිනිය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ විසඳිය යුතු ප්‍රධාන අර්බුද පහක් හඳුනා ගත්තාය. ඒවා නම් අධ්‍යාපන ආයතන අතර පවතින පරතරය, සමාජ වගකීමෙන් යුතු පුරවැසියන් බිහි කිරීමේ අසමත්කම, කාන්තාවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණ සහ ශ්‍රම බලකායට එක්වීමේ පවතින පරතරය, කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණික වෙනස්කම්වලට අනුගත වීමේ අවශ්‍යතාව සහ අධ්‍යාපනය හුදෙක් සහතික ලබා ගැනීමේ මෙවලමක් ලෙස සැලකීමයි.
1971 ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තාවක් උපුටා දක්වමින් අගමැතිනිය පෙන්වා දුන්නේ, මෙරට පවතින “කුසලතා නොගැලපීම” සහ රාජ්‍ය අංශයේ රැකියා සඳහා ඇති “පෝලිම් සංසිද්ධිය” ආර්ථික අභියෝගවලට හේතු වී ඇති බවයි. වසර ගණනාවක් පුරා STEM අධ්‍යාපනය සහ තාක්ෂණික කුසලතා සංවර්ධනයට ප්‍රමුඛත්වය ලබා දුන්නද, ව්‍යුහාත්මක ගැටලු විසඳීමට එම ප්‍රතිසංස්කරණ අසමත් වූ බවද ඇය සඳහන් කළාය.
නිදහස් අධ්‍යාපන ක්‍රියාවලියේ සැබෑ අරමුණ ශ්‍රම බලකාය ගොඩනැගීම පමණක් නොව, ප්රජාතන්ත්රවාදී සමාජයක් පවත්වාගෙන යා හැකි දේශපාලනිකව සවිඥානික, සදාචාරාත්මකව ස්ථාවර සහ විවේචනාත්මකව සිතන පුරවැසියන් බිහි කිරීම විය යුතු බව අගමැතිනිය අවධාරණය කළාය. තවද, කෘත්‍රිම බුද්ධිමය අභියෝගවලට මුහුණ දීම සඳහා ඩිජිටල් සාක්ෂරතාව සහ මාර්ගගත ආරක්ෂාව ශක්තිමත් කළ යුතු බවත්, ගුරු වෘත්තිය නැවත සමාජ ගෞරවයට පාත්‍ර වූ උතුම් වෘත්තියක් ලෙස ස්ථාපිත කළ යුතු බවත් ඇය වැඩිදුරටත් පැවසුවාය.
















