ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි (Kentucky) ප්‍රාන්තයේ ලුයිස්විල් (Louisville) නගරයේදී මානසික ආතතියකින් පෙළෙමින් මහමඟ නිරුවතින් සිටි 27 හැවිරිදි තරුණයෙකුට පොලිස් නිලධාරියෙකු විසින් වෙඩි තබා සාහසික ලෙස ඝාතනය කිරීමේ පුවතක් විදේශීය මාධ්‍ය වාර්තා කරයි. මෙම අවාසනාවන්ත සිදුවීමට අදාළ හදිසි ඇමතුම් (911) හඬපට, ඩ්‍රෝන (Drone) දර්ශන සහ අදාළ පොලිස් නිලධාරියාගේ ශරීරයේ සවිකර තිබූ කැමරා (Body Camera) දර්ශන ලුයිස්විල් මෙට්‍රෝ පොලිස් දෙපාර්තමේන්තුව (LMPD) විසින් මේ වන විට නිල වශයෙන් මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
පොලිස් වාර්තාවලට අනුව, පසුගිය මැයි 30 වනදා රාත්‍රී 9.27 ට පමණ ක්‍රොමාටි වේ (Cromarty Way) ප්‍රදේශයේ සිදුවූ පහරදීමක් සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව නේතන් ස්ටොට්ස් (Nathan Stotts) නැමැති පොලිස් නිලධාරියා එම ස්ථානයට තනිවම පැමිණ ඇත. එහිදී මාර්ටින් නිට්ස්කේ (Martin Nitzken, Jr.) නැමැති 27 හැවිරිදි තරුණයා මහමඟ නිරුවතින් සිට ඇති අතර, පොලිස් නිලධාරියා පැමිණෙනවාත් සමඟ ඔහු නිලධාරියා දෙසට ඇවිද ගොස් තිබේ. එහිදී වහාම නතර වන ලෙසට පොලිස් නිලධාරියා නියෝග කර ඇති අතර, තරුණයා ඉදිරියට පැමිණීමේදී නිලධාරියා විසින් ඔහුට සෘජුවම වෙඩි තබා ඇත. පසුව එම ස්ථානයේදීම තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය තරුණයා ද්විධ්‍රැව ආබාධයෙන් (Bipolar Disorder) පෙළෙන්නෙකු බව පසුව අනාවරණය විය.
මෙම අත්තනෝමතික වෙඩි තැබීම සම්පූර්ණයෙන්ම අනුමත කළ නොහැකි වෘත්තීය මට්ටමේ නොවන ක්‍රියාවක් බව පවසමින් ලුයිස්විල් පොලිස් ප්‍රධානී පෝල් හම්ප්‍රි (Paul Humphrey) විසින් වෙඩි තැබීම සිදුකළ නිලධාරියා වහාම ක්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමේ (Termination Process) මූලික නීතිමය කටයුතු සක්‍රීයව ආරම්භ කර ඇත. ජීවිතයක් බේරාගැනීමට වෙනත් විකල්ප තිබියදී මෙලෙස වෙඩි තැබීම සහ වෙඩි වැදීමෙන් පසු තරුණයාට ප්‍රථමාධාර ලබාදීමට කටයුතු නොකිරීම පිළිබඳව පොලිස් ප්‍රධානියා මෙන්ම නගරාධිපති ක්‍රේග් ග්‍රීන්බර්ග් (Craig Greenberg) ද සිය බලවත් කනගාටුව පළ කර සිටිති. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය (Public Integrity Unit) මඟින් පුළුල් පරීක්ෂණ පවත්වා ඉදිරි අධිකරණ ක්‍රියාමාර්ග සඳහා නීතිපති කාර්යාලය වෙත වාර්තා කිරීමට පියවර ගෙන තිබේ.
















