ජනතා විමුක්ති පෙරමුණේ (JVP) ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා අතර විශේෂ නිල හමුවක් ඊයේ (02) පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. මෙම හමුව විශේෂත්වයක් ගත්තේ ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා මෙරට සිය වසර තුනක රාජ්‍යතාන්ත්‍රික ධුර කාලය සාර්ථකව අවසන් කර ආපසු ඉන්දියාව බලා පිටත්ව යාමට පෙර පැවැත්වූ අවසන් සමුගැනීමේ හමුවීම ලෙසිනි.
මෙහිදී පසුගිය කාලසීමාව තුළ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම උදෙසා ගනු ලැබූ විවිධ ක්‍රියාමාර්ග පිළිබඳව දෙපාර්ශ්වය දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ. එහිදී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ලෙස ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා දැක්වූ මිත්‍රශීලී සහ ක්‍රියාකාරී දායකත්වය ජවිපෙ ප්‍රධාන ලේකම්වරයාගේ ඇගයීමට ලක්විය. විශේෂයෙන්ම මෑතකදී මෙරටට දැඩි බලපෑමක් එල්ල කළ ඩිට්වා (Ditwa) සුළි කුණාටුව හමුවේ පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීමේ සහ සහයෝගය දැක්වීමේ කටයුතුවලදී ඉන්දීය රජය සහ නියෝජ්‍ය මහකොමසාරිස්වරයා පෞද්ගලිකව මැදිහත් වෙමින් ඉටුකළ මානුෂීය මෙහෙවර ටිල්වින් සිල්වා මහතා විසින් කෘතවේදීව සිහිපත් කරන ලදී.
ආචාර්ය සත්‍යන්ජල් පාණ්ඩේ මහතා මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ තමා 2023 වසරේ අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවේ රාජකාරි භාරගැනීමෙන් පසු ජනතා විමුක්ති පෙරමුණ සමඟ ඉතා ඉක්මනින් සම්බන්ධ වීමට අවස්ථාව සැලසුණු බවයි. එතැන් පටන් ගතවූ කාලය පුරාම දෙපාර්ශ්වය අතර ඉතා ඉහළ මට්ටමේ මිත්‍රශීලී සහ විනිවිදභාවයකින් යුත් රාජ්‍යතාන්ත්‍රික සබඳතාවයක් පවත්වාගෙන යාමට හැකිවීම පිළිබඳව ද ඒ මහතා සිය සතුට පළ කළේය. ශ්‍රී ලංකාවේ සිය නිල සේවා කාලය නිම කර නික්ම යන නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාගේ ඉදිරි සියලුම රාජ්‍යතාන්ත්‍රික කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සිය හෘදයාංගම සුබ පැතුම් එක්කළේය.
















