යාපනය විශ්වවිද්‍යාලය තුළ සිසුන් විසින් ඉතා භක්තිමත් ලෙස ඉදි කර තිබූ වෙසක් කූඩු ඇතුළු සංස්කෘතික නිර්මාණ අමානුෂික ලෙස විනාශ කිරීමේ සිදුවීම පිටුපස විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර ශිෂ්‍යයන් අතර කිසිදු ගැටුමක් නොමැති බවත්, එය හුදෙක් පිටස්තරින් පැමිණි සංවිධානාත්මක ජාතිවාදී කල්ලියක දේශපාලන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් බවත් ඉංජිනේරු පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති මධුශාන් රාජපක්ෂ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් පවසයි. සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු හා ක්‍රිස්තියානි යන සියලුම ආගමික හා ජන කොටස් නියෝජනය කරන ශිෂ්‍ය ප්‍රජාව අත්වැල් බැඳගනිමින් මෙම ආගමික නිර්මාණය සිදු කළේ රට තුළ කෘත්‍රිමව මතුකරන ජාතිවාදී රැල්ලට එරෙහිව පොදු සමාජයට සහෝදරත්වයේ සහ සංහිඳියාවේ ප්‍රබල පණිවුඩයක් ලබා දීමට වුවද, පටු අරමුණු සහිත අඳුරු දේශපාලන බලවේගයක් විසින් එය රාත්‍රී කාලයේදී රහසිගතව විනාශ කර ඇති බවට ඔහු චෝදනා කරයි. යාපනය විශ්වවිද්‍යාලය තුළ පවතින සැබෑ ශිෂ්‍ය සහෝදරත්වය ලෝකයට පෙන්වීමට සිසුන් දැරූ උත්සාහයට මෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීම සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගේම දැඩි පිළිකුලට හා හෙළාදැකීමට ලක්ව තිබේ.
මෙම අවාසනාවන්ත සිදුවීම පෙරදැරි කරගනිමින් විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ බරපතළ ජාතිවාදී අර්බුදයක් හෝ සිසුන් අතර මතභේදයක් පවතින බවට සමාජ මාධ්‍ය හරහා අසත්‍ය සහ නොමඟ යවන සුලු මතයක් නිර්මාණය කිරීමේ දැඩි උත්සාහයක් වර්තමානයේ පෙනෙන්නට ඇති බවත්, එමඟින් රට තුළ යළිත් වරක් අහිතකර ජාතිවාදී ගිනිදැල් ගොඩනැඟීමේ අවදානමක් පවතින බවත් ශිෂ්‍ය සංගමය පෙන්වා දෙයි. විශේෂයෙන්ම යාපනය, කිලිනොච්චි සහ වවුනියා මණ්ඩපවල සිසුන් අතර පවතින ආගමික සහජීවනයට හානි පමුණුවමින් මෙවැනි පිටස්තර කණ්ඩායම් ක්‍රියා කිරීම ජාතික ආරක්ෂාවට මෙන්ම සංහිඳියාවට ද එල්ල කරන දැඩි බලපෑමකි. වත්මන් මාලිමා රජය යටතේ ජාතික සමගිය තහවුරු කිරීමට කටයුතු කරන බව පවසන පසුබිමක, ශිෂ්‍ය ප්‍රජාව අතර කිසිදු භේදයක් නොමැති වටපිටාවක මෙවැනි නින්දිත ක්‍රියාවන් හරහා තමන්ගේ පටු දේශපාලන මඩිස්සල තරකර ගැනීමට උත්සාහ කරන පිරිස් පිළිබඳව රජය සහ ආරක්ෂක අංශ මීට වඩා දැඩි අවධානයක් යොමු කළ යුතු බව ඔහුගේ විග්‍රහයයි.
සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් යාපනය පොලිසිය වෙත නිල වශයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇති අතර, විශ්වවිද්‍යාලයේ සාමය බිඳදැමූ මෙම විනාශකාරී සහ සාපරාධී ක්‍රියාව පිටුපස සිටින සැබෑ සෙවණැලි කවුදැයි වහාම හෙළි කර ගැනීම සඳහා විධිමත් හා අපක්ෂපාතී පොලිස් විමර්ශනයක් අවශ්‍ය බව ශිෂ්‍ය සංගමය දැඩිව අවධාරණය කරයි. විවිධ දේශපාලන උවමනාවන් වෙනුවෙන් උසස් අධ්‍යාපන පද්ධතිය ජාතිවාදී මඩගොහොරුවක් බවට පත් කිරීමට දරන උත්සාහයන් හමුවේ සිසුන් ලෙස තමන්ගේ සමගිය තවදුරටත් ශක්තිමත් කරන බව ඔවුන්ගේ ස්ථාවරයයි. මේ වන විට මණ්ඩපයේ අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන නමුත්, මෙවැනි කුමන්ත්‍රණකාරී ක්‍රියාකාරකම් මඟින් රටේ අනාගතය නැවතත් අඳුරු වීමට ඉඩ නොතබා උතුරේ සහ දකුණේ සාමය හා සංහිඳියාව ප්‍රායෝගිකව සුරැකීම වගකිවයුතු බලධාරීන්ගේ මූලික වගකීමක් බව පවසමින් මධුශාන් රාජපක්ෂ මහතා සිය අදහස් දැක්වීම අවසන් කරයි.
















