ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම රටේ ආර්ථික අර්බුදයක ලක්ෂණයක් නොවන බව මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙලෙස බාහිර බලපෑමක් එල්ල වී ඇත්තේ මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් බවයි.
පවතින තත්ත්වය පිළිබඳව පැහැදිලි කළ නියෝජ්‍ය අමාත්‍යවරයා, මැදපෙරදිග යුද්ධය නිසා ආර්ථිකයට යම් කම්පනයක් ඇති වුවද ඒ සඳහා රජය නිසි ප්‍රතිපත්තිමය තීන්දු ගනිමින් සිටින බව අවධාරණය කළේය. වෙළෙඳපොළේ පවතින අනියත බිය සහ සමපේක්ෂණ චේතනාවන් නිසා ඉල්ලුම සහ සැපයුම එකවර සාමාන්‍ය තත්ත්වයට පත් නොවන බැවින්, මෙලෙස රුපියලේ අගය සුළු වශයෙන් ඉහළ පහළ යා හැකි බව ඔහු පෙන්වා දුන්නේය. ඩොලරයේ අගය රුපියල් 350 ඉක්මවා ගොස් නැවතත් රුපියල් 330 සීමාවට පැමිණි බවත්, පසුව සිදු වූ සුළු වැඩිවීම තාවකාලික එකක් පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා, මේ පිළිබඳව අනවශ්‍ය කලබලයක් ඇති කරගත යුතු නොවන බව ප්‍රකාශ කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති තීරුබදු පිළිබඳව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කරුණු පැහැදිලි කළේය. බලහත්කාර ශ්‍රමය (Forced Labor) භාවිත කරන්නේදැයි සොයා බැලීමට ඇමෙරිකාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60ක සැපයුම් ජාලයන් සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පවත්වන බවත්, එම පරීක්ෂණ අවසන් වන තෙක් 12.5%ක තීරුබද්දක් යෝජනා වී ඇති බවත් ඔහු කීය.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ සැපයුම් ජාලයන් තුළට එවැනි බලහත්කාර ශ්‍රමයක් ඇතුළත් නොවන බව සහතික කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කර කැබිනට් අනුමැතිය ඇතිව සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව ඔහු අනාවරණය කළේය. ලංකාවේ නීතිරීති පද්ධතිය සහ ක්‍රමවේදයන් ශක්තිමත් බැවින්, අදාළ තොරතුරු ඇමෙරිකානු පරීක්ෂණ කණ්ඩායම් වෙත නිසි පරිදි ලබා දීමෙන් මෙම තීරුබදු තත්ත්වය ඉවත් කර ගැනීමට හැකි වනු ඇති බවට නියෝජ්‍ය අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.
















