ලෝක රේගු සංවිධානයේ දූෂණ විරෝධී සහ සුපිළිපන්භාවය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන් ප්‍රධානී ඇන්ඩ්‍රියා හැම්ප්ටන් මහත්මිය ඇතුළු ත්‍රිපුද්ගල නියෝජිත පිරිසක් පසුගිය (02) දා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූහ. රාජ්‍ය අංශයේ දූෂණ පිටුදැකීම සහ යහපාලනය ශක්තිමත් කිරීම වෙනුවෙන් රජය දියත් කර ඇති නවතම වැඩපිළිවෙළ ඇගයීමට ලක් කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
මෙහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දුන්නේ දූෂණයෙන් තොර වගකීම් සහගත රාජ්‍ය සේවයක් බිහි කිරීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලයේ සෘජු මැදිහත්වීමෙන් මේ වන විට රට පුරා රාජ්‍ය ආයතනවල ‘අභ්‍යන්තර කටයුතු ඒකක’ (Internal Affairs Units) 360ක් ස්ථාපිත කර ඇති බවයි. සියලුම රේඛීය අමාත්‍යාංශ, පළාත් ප්‍රධාන ලේකම් කාර්යාල, දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මේ යටතට ඇතුළත් වන අතර, මෙම වසර තුළ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු ඉතිරි රාජ්‍ය ආයතනවල ද මෙම ඒකක පිහිටුවීමට සැලසුම් කර ඇත.
මෙම පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ජනාධිපති කාර්යාලය විසින් විශේෂ මාර්ගගත (Online) වේදිකාවක් ද හඳුන්වා දී තිබේ. එමඟින් පැමිණිලි කළමනාකරණය, ක්‍රියාකාරී සැලසුම් වාර්තා කිරීම, දූෂණ අවදානම් තක්සේරු කිරීම සහ දත්ත විශ්ලේෂණය මධ්‍යගතව අධීක්ෂණය කිරීමට අවස්ථාව සැලසේ. මෙම ඒකක සඳහා පත්කරන නිලධාරීන්ට දූෂණ විරෝධී නීති සහ අවදානම් කළමනාකරණය පිළිබඳ විශේෂ පුහුණුවක් ද ලබා දෙනු ලැබේ.
ලෝක රේගු සංවිධානයේ නියෝජිත කණ්ඩායම් ප්‍රධානී ඇන්ඩ්‍රියා හැම්ප්ටන් මහත්මිය මෙහිදී ප්‍රකාශ කළේ, ශ්‍රී ලංකාව හඳුන්වා දී ඇති මෙම මාර්ගගත පැමිණිලි කළමනාකරණ පද්ධතිය ශ්‍රී ලංකා රේගුවේ අභ්‍යන්තර පාලන යාන්ත්‍රණය සහ දූෂණ විරෝධී හැකියාවන් ශක්තිමත් කිරීමට ලැබුණු වටිනා අවස්ථාවක් බවයි. මේ හරහා ජනනය වන දත්ත මඟින් රේගු පරිපාලනය තුළ පවතින අවදානම් හඳුනාගෙන ඒවා අවම කරමින් වඩාත් ඵලදායී සේවාවක් සැපයීමට සහාය වන බව ද ඇය අවධාරණය කළාය.
මෙම සාකච්ඡාව සඳහා ලෝක රේගු සංවිධානය නියෝජනය කරමින් පැස්කල් තෝමස් සහ බූඩ්විජන් ග්‍රෝන්වෙල්ඩ් යන මහත්වරුන් ද, ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනවිය ඇතුළු ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
















