ජාතික පාසල් හා විද්‍යාපීඨවල භෞතික සම්පත් සංවර්ධනය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කළ වැඩිම මුදල වන රුපියල් බිලියන 13.5ක මුදලක් 2026 වසර සඳහා වෙන්කර ඇති බව අග්‍රාමාත්‍ය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය. මීට අමතරව පාසල් අලුත්වැඩියා කටයුතු සඳහා පමණක් රුපියල් බිලියන 5ක මුදලක් වෙන්කර ඇති බව ද ඇය සඳහන් කළාය. ඇය මේ බව කියා සිටියේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති බස්නාහිර පළාත් ජාතික පාසල් විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ හා ධාරිතා සංවර්ධන වැඩසටහන අමතමිනි.
මෙහිදී අමාත්‍යාංශ චක්‍රලේඛයන්ට අනුකූලව මූල්‍ය විනිවිදභාවයකින් යුතුව පාසල් පරිපාලන කටයුතු පවත්වාගෙන යෑම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුව පාසල් පරිසරය හැඩගැස්වීම පිළිබඳව විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සිදු කෙරුණි. පාසල් පද්ධතිය තුළ පවතින ප්‍රායෝගික ගැටලු පිළිබඳව අග්‍රාමාත්‍යවරිය හමුවේ අදහස් දැක්වීමට ද මෙහිදී විදුහල්පතිවරුන්ට අවස්ථාව හිමි විය.
ඕනෑම අර්බුදකාරී තත්ත්වයකදී පවතින සම්පත් කළමනාකරණය කරමින් පාසල් අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යෑමට විදුහල්පතිවරුන් කරන කැපකිරීම අගය කළ අග්‍රාමාත්‍යවරිය, දරුවන්ට ආදරය සහ රැකවරණය ලැබෙන ස්ථානයක් බවට පාසල පත්කිරීමේ වගකීම රජය භාරගන්නා බව ප්‍රකාශ කළාය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය තුළ කාලයක් තිස්සේ පැවැති ගැටලු හඳුනාගනිමින් සැමට සම වරප්‍රසාද හිමිවන පරිවර්තනීය මාවතකට අධ්‍යාපනය යොමු කිරීමේ තිරසාර සැලසුමක් රජය සතු බව ද ඇය අවධාරණය කළාය. මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
















