ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) හටගෙන ඇති වායු කාන්දුවක් හේතුවෙන් එහි සිටින ගගනගාමීන්ට තාවකාලිකව ආරක්ෂිත අභ්‍යවකාශ යානයක් තුළට වී සිටින ලෙස නාසා (NASA) ආයතනය නියෝග කර තිබේ. එමෙන්ම හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් වහාම අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට සූදානමින් සිටින ලෙස ද දන්වා ඇත.
නාසා ප්‍රකාශිකා බෙතානි ස්ටීවන්ස් X (ට්විටර්) පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රුසියානු කොටසට අයත් ‘ස්වෙස්ඩා’ (Zvezda) සේවා මොඩියුල උමග තුළ කලක පටන් පැවති ඉරි තැලීම් සහ වායු කාන්දුවීම් මෑතකදී නැවතත් උත්සන්න වී ඇති බවයි. මේ වන විට රුසියානු ඉංජිනේරු කණ්ඩායමක් විසින් මෙම වායු කාන්දුව යථා තත්ත්වයට පත් කිරීම සඳහා පුළුල් අලුත්වැඩියා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, එහි ආරක්ෂිත පියවරක් ලෙස නාසා ගගනගාමීන්ට මෙලෙස නවාතැන් ගන්නා ලෙස උපදෙස් දී තිබේ.
ඒ අනුව දැනට මධ්‍යස්ථානයේ රැඳී සිටින ගගනගාමීන් හත් දෙනාගෙන් පස් දෙනෙකුටම SpaceX සමාගමට අයත් Crew Dragon “Freedom” යානය තුළට වී සිටින ලෙස දන්වා ඇත. මේ සඳහා ස්ථීර තාක්ෂණික විසඳුමක් ලබා ගැනීමට රුසියානු අභ්‍යවකාශ බලධාරීන් මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව සමඟ එක්ව නාසා ආයතනය සමීපව කටයුතු කරමින් සිටින බව ද ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළාය.
















