වෛරස් විශාල ප්‍රමාණයකින් ආරක්ෂා වීමට සහ අනාගත වසංගත වැළැක්වීමට සමත් “මූලික වශයෙන් නව” එන්නතක් සංවර්ධනය කිරීම සඳහා විද්‍යාඥයින් විසින් කෘතිම බුද්ධිය (AI) සාර්ථකව භාවිත කර ඇත. බ්‍රිතාන්‍යයේ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ (University of Cambridge) පර්යේෂණ කණ්ඩායම පවසන්නේ, එන්නතක ප්‍රධාන සංරචකය සම්පූර්ණයෙන්ම AI තාක්ෂණය මඟින් සැලසුම් කර, පසුව එය මිනිසුන් යොදාගනිමින් සායනික අත්හදා බැලීම්වලට (Clinical Trials) ලක් කළ ලොව පළමු අවස්ථාව මෙය වන බවයි.
මෙම නවතම එන්නත නිර්මාණය කර ඇත්තේ දැනට පවතින සියලුම කොවිඩ් (COVID-19) ප්‍රභේදයන්ට එරෙහිව පමණක් නොව, දැනට සතුන් අතර පමණක් ව්‍යාප්ත වන නමුත් මිනිසාට වැළඳුණහොත් ඊළඟ ගෝලීය වසංගතය ආරම්භ කිරීමේ දැඩි අවදානමක් ඇති සමස්ත “කොරෝනා වෛරස්” (Coronavirus) පවුලටම එරෙහිව ක්‍රියාත්මක විය හැකි ‘විශ්ව එන්නතක්’ (Universal Vaccine) ලෙසය. වෛරස් නිරන්තරයෙන් විකෘති වෙමින් (Mutation) නව ප්‍රභේද බිහි කරන බැවින්, ඒ සියල්ලටම පොදුවේ මුහුණ දිය හැකි ව්‍යුහයක් AI මඟින් හඳුනාගෙන මෙම එන්නත නිපදවා තිබේ.
මෙම පර්යේෂණ කටයුතු තවමත් මුල් අවධියේ පවතින අතර, කේම්බ්‍රිජ් පර්යේෂණ කණ්ඩායම දැනටමත් මෙම AI තාක්ෂණයම උපයෝගී කරගනිමින් දරුණු ගණයේ උණ (Influenza) සහ ඉබෝලා (Ebola) වෛරස් මර්දනය කළ හැකි වෙනම එන්නත් වර්ග සංවර්ධනය කිරීමට ද පියවර ගනිමින් සිටින බව වැඩිදුරටත් අනාවරණය කර ඇත. වෛද්‍ය විද්‍යාවේ මෙම නව පෙරළිය අනාගතයේදී වසංගත තත්ත්වයන් මිනිස් ජීවිත බිලිගැනීමට පෙර ඒවා මුලිනුපුටා දැමීමට ලැබුණු දැවැන්ත ආයුධයක් වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.
















