සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා, ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ ඉහළම ඇගයීමක් වන “2026 SITF විශිෂ්ට සංචාරක පුරෝගාමී සම්මානයෙන්” (SITF Eminent Tourism Pioneer Award) පිදුම් ලබා තිබේ. මෙම සම්මාන ප්‍රදානය දකුණු කොරියාවේ සෝල් නුවර පැවැත්වුණු 41 වන සෝල් ජාත්‍යන්තර සංචාරක ප්‍රදර්ශනයේදී (SITF) උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිණි.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ගෝලීය සංචාරක ක්ෂේත්‍රයේ ශාස්ත්‍රීය දායකත්වය මෙන්ම කර්මාන්තයේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය අගයමින් SITF සංචාරක සම්මාන කමිටුව විසින් වාර්ෂිකව සිදු කරන දීර්ඝ නිරීක්ෂණයකින් පසු මෙම තේරීම සිදු කර ඇති බවයි. සෑම වසරකම ඉතා සීමිත පුද්ගලයන් සංඛ්‍යාවකට පමණක් පිරිනමන මෙම උපහාරය ජාත්‍යන්තර සංචාරක ප්‍රජාව අතර ඉහළම ගෞරවයක් හිමිවන සම්මානයක් ලෙස ද සැලකේ.
















