2026 ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය තායිලන්තයේ බැංකොක් නුවර පිහිටි ඓතිහාසික හා පූජනීය වොට් ෆෝ (Wat Pho) විහාරස්ථානයේදී උත්කර්ෂවත් ලෙස පවත්වා තිබේ. තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ නේපාල තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ මෙම පුණ්‍ය මහෝත්සවයට මහා සංඝරත්නය, විදේශීය තානාපතිවරුන්, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන් මෙන්ම ශ්‍රී ලංකා, නේපාල සහ තායිලන්ත වැසියන් විශාල පිරිසක් එක්ව සිටි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙහිදී වොට් ෆෝ විහාරාධිපති සොම්ඩෙට් ප්‍රා මහා තිරචන් නායක හිමියන් සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිනි විජයන්ති එදිරිසිංහ මහත්මිය අදහස් දක්වමින්, වත්මන් ලෝක සාමය සහ සහජීවනය උදෙසා බුදු දහම හා සතර බ්‍රහ්ම විහරණ අත්‍යවශ්‍ය වන බව පෙන්වා දුන්හ. පහළවෙල ධම්මකිත්ති හිමි, ප්‍රා අනිල් සාක්‍ය හිමි සහ අජාන් කෙවලී හිමිවරුන්ගේ මෙහෙයවීමෙන් බුද්ධ පූජා, ධර්ම දේශනා සහ භාවනා වැඩසටහන් පැවැත්වුණු අතර, නේපාල සහ ශ්‍රී ලාංකික කලාකරුවන් ඉදිරිපත් කළ සුවපත් කරන සංගීතය හා භක්ති ගීත සැමගේ අවධානය දිනාගත්තේය. උත්සවය අවසානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් නිර්මාණය කළ වෙසක් කූඩු ප්‍රදර්ශනයක් සහ සාම්ප්‍රදායික දන්සලක් ද පැවැත්විණි.
















