ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ ඉරානය සමඟ පවතින සාකච්ඡා “ඉතා හොඳින් සිදුවන” බවයි. කෙසේ වෙතත්, ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි එම ප්‍රකාශය සාවද්‍ය බව පවසමින් වහාම ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහු කියා සිටින්නේ සාකච්ඡාවල කිසිදු ප්‍රත්‍යක්ෂ ප්‍රගතියක් මෙතෙක් සිදුව නොමැති බවයි.
විස්කොන්සින් (Wisconsin) හි පැවති මාධ්‍ය හමුවකදී ජනාධිපති ට්‍රම්ප් පැවසුවේ ඉරානය සමඟ සාකච්ඡා සාර්ථක මට්ටමක පවතින බවත්, ඇතැම්විට මෙම සති අන්තය වන විට දෙපාර්ශවය අතර තාවකාලික එකඟතාවක් ඇති කරගත හැකි වනු ඇති බවත්ය. එහිදී ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික ආයුධ නිෂ්පාදනය කිරීමට ඉඩ නොදෙන බවත්, ඔවුන් සතු පොහොසත් කරන ලද යුරේනියම් තොග ජාත්‍යන්තරයට භාර දිය යුතු බවත් ඇමෙරිකාව අවධාරණය කර තිබේ. මීට අමතරව, දැනට පවතින නාවික අවහිරතා ඉවත් කර, හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම ඇමෙරිකාවේ ප්‍රධානතම කොන්දේසියක් වී ඇත.
නමුත් ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශ ප්‍රතික්ෂේප කරන ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, දැනට සෘජු සාකච්ඡා සිදුනොවන බවත් සිදුවන්නේ අතරමැදියන් හරහා පණිවිඩ හුවමාරු කරගැනීම පමණක් බවත්y.
එමෙන්ම, ලෙබනනයේ බීරූට් නගරයට ඊශ්‍රායලය එල්ල කරන බෝම්බ ප්‍රහාර වහාම නතර නොකරන්නේ නම්, දැනට පවතින සටන් විරාම එකඟතාවලින් ඉරානය සම්පූර්ණයෙන්ම ඉවත් වන බවට ද ඔහු බරපතළ අනතුරු ඇඟවීමක් කර තිබේ. තමන් මත පනවා ඇති ජාත්‍යන්තර සම්බාධක ඉවත් කිරීම, බටහිර බැංකුවල ශීත කර ඇති ඉරාන මුදල් වහාම නිදහස් කිරීම සහ මැදපෙරදිග කලාපයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කරගැනීම ඉරානයේ ප්‍රධාන ඉල්ලීම් බව ද විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















