වැඩ කරන ජනතාවට ඕනෑම වයස් කාණ්ඩයකදී උසස් අධ්‍යාපනය සඳහා ප්‍රවේශ විය හැකි රාජ්‍ය පද්ධතියේ ඇති එකම විශ්වවිද්‍යාලය වන විවෘත විශ්වවිද්‍යාලය ශක්තිමත් කිරීම සඳහා රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළාය. කුරුණෑගල ප්‍රාදේශීය මධ්‍යස්ථානයේ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව සඳහන් කළ අතර, එහිදී විවෘත විශ්වවිද්‍යාලයේ කුරුණෑගල ශාඛාවේ පවතින ඉඩකඩ ප්‍රමාණවත් නොවීම ඇතුළු යටිතල පහසුකම් ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විවෘත විශ්වවිද්‍යාලයේ ඉඩකඩ ගැටලුව විසඳීම සඳහා දැනටමත් අවශ්‍ය ඉඩම ලබාගෙන ඇති බැවින්, ව්‍යාපෘතිය කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සහ සැලසුම් සකස් කිරීමේ වැදගත්කම අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. වැඩ කරන ජනතාවගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් රජය අඛණ්ඩව මැදිහත් වන බව ද ඇය මෙහිදී සහතික විය.
මෙම අවස්ථාවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවෙමින් පවතින වෙනස්කම් පිළිබඳව ද කරුණු පැහැදිලි කළාය. අධ්‍යාපන ඩිජිටල්කරණය නිල වශයෙන් ආරම්භ කර ඇති අතර, 2027 වසරේදී 6 වන ශ්‍රේණියට සහ දෙවන ශ්‍රේණියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට කටයුතු සූදානම් කරමින් පවතී. මේ වසරේ ආරම්භ කළ පළමු වසර අධ්‍යාපන ප්‍රතිසංස්කරණය සඳහා අවශ්‍ය දෙවන සහ තෙවන වාර පොත් නිකුත් කර ඇති අතර, ලබන වසරට අදාළ ගුරු පුහුණු වැඩසටහන්ද ක්‍රියාත්මක කෙරේ.
ගුරු කාර්යක්ෂමතා කඩඉම් විභාග ගැටලුවට රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය හිමිව ඇති බැවින් මේ වසර තුළ ඊට විසඳුම් ලබා දීමට සූදානම් බවත්, විදුහල්පතිවරුන්ගේ දීර්ඝ කාලීන වැටුප් විෂමතාව විසඳීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
















