රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධ කතාබහ ඉදිරියට දමමින්, විපක්ෂය උත්සාහ කරන්නේ පාස්කු දින ප්‍රහාරය පිළිබඳ සාකච්ඡාව යටපත් කිරීමට බව ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ පවසති. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මහනුවර තැපැල් ශ්‍රවණාගාරයේ පැවති ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ 6 වැනි ජාතික සමුළුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
විපක්ෂය මේ වන විට ජාතිවාදය හා ආගම්වාදය අවුස්සමින් දේශපාලන වාසි තකා කටයුතු කරන බව පෙන්වා දුන් සුගතානන්ද හිමියෝ, සලේ වෙනුවෙන් විපක්ෂය හෙළන කිඹුල් කඳුළු, පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටුකිරීමේ නීතිමය ක්‍රියාවලියට බාධාවක් කර නොගත යුතු බව අවධාරණය කළහ. පාස්කු ප්‍රහාරය යනු බලය ලබාගැනීම වෙනුවෙන් සිදුකළ දරුණු ඝාතනයක් බැවින් ඊට සම්බන්ධ සියලු ඝාතකයන්ට නීතියෙන් දඬුවම් ලැබිය යුතු බව උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළහ.
එමෙන්ම, පසුගිය රජයන් විසින් දේශපාලන ක්‍රියාකාරීන් මෙන්ම භික්ෂූන් වහන්සේලා දඩයම් කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අනිසි ලෙස භාවිත කළ ආකාරය සිහිපත් කළ උන්වහන්සේ, සාමාන්‍ය නීතිය යටතේ කටයුතු කිරීමට ඉඩ තිබියදී භාවිත කරන මෙම මර්දනකාරී පනත වහාම අහෝසි කළ යුතු බව ද මෙහිදී සඳහන් කළහ.
















