නිල් පැහැති ජෙලිෆිෂ් (Jellyfish) වර්ගයේ මුහුදු ජීවීන් රැසක් වෙරළට ගසාගෙන විත් තිබීම හේතුවෙන් පොල්හේන මුහුදු තීරයේ දිය නෑමට නොපැමිණෙන ලෙස පොල්හේන පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි.
උද්ගතව ඇති මෙම අනතුරුදායක තත්ත්වය පිළිබඳව විශේෂයෙන්ම පිට පළාත්වලින් පැමිණෙන සංචාරකයින් සහ ජනතාව දැනුවත් කිරීම සඳහා වෙරළ තීරයේ රතු කොඩි ප්‍රදර්ශනය කිරීමට ජීවිත ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබේ. එමෙන්ම වෙරළට ගොඩගසා ඇති මියගිය ජෙලිෆිෂ් සතුන් කිහිපදෙනෙකු බෝතල්වලට දමා පැමිණෙන ජනතාව දැනුවත් කිරීමට ද පියවර ගෙන ඇති පොලිස් ජීවිත ආරක්ෂක ඒකකය, කිසිදු හේතුවක් මත මේ දිනවල මුහුදු දියට නොබසින ලෙස මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.
















