ඉංගිරිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙකු තමා පදිංචි නිල නිවාසය අසල බිම වැටී මියගොස් සිටියදී හමුවූ බව ඉංගිරිය පොලිසිය පවසයි.
ඊයේ (13) උදෑසන 6.00 ට පමණ එම මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු විසින් මේ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇත. පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණ පරීක්ෂා කිරීමේදී සැරයන්වරයා මියගොස් සිටිනු දැක තිබේ. අනතුරුව ඔහුගේ දේහය ඉංගිරිය රෝහල වෙත රැගෙන ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ 57 හැවිරිදි වියේ පසුවූ ඉන්ද්‍රජිත් මුදලිගේ (41091) නැමැති නිලධාරියාය. ඔහු හොරණ, රත්නපුර පාර, සව්ගස් හන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු ඊයේ (13) සවස හොරණ දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු කෙරිණි. ඔහුගේ අවසන් කටයුතු හෙට (15) සිදු කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
















